කොස්ගම හානි වූ සෑම නිවාසයක්ම ඉදිකර දෙනවා

කොස්ගම, සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදුවූ පිපුරුම හේතුවෙන් සම්පූර්ණයෙන් හානියට පත් සියළු නිවාස ඉදි කර දෙන බව යුධ හමුදාව පවසයි.

බටහිර ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ එහි මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

ස්ථීර නිවාස ඉදිකර දෙන තුරු හානියට පත් නිවාස වල ජනතාවට ජීවත්වීම සඳහා තාවකාලික නිවාස ඉදි කර දීමට සැළසුම් කර තිබේ.

සිය ඉඩම් තුළම එම තාවකාලික නිවාස ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේය.

එම තාවකාලික නිවාස ඉදිකිරීමේ කටයුතු ඊයේ දිනයේ සිට ආරම්භ කළ අතර ඉතා කඩිනමින් හානියට පත් සියළු නිවාස අලුතෙන් ඉදිකර දීමට කටයුතු කරන බව යුධ හමුදාව පවසයි.

මේ අතර සාලාව යුධ හමුදා කඳවුර අවට මීටර් 500ක් දුරින් වූ ප්‍රදේශය ආරක්ෂක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද ජනතාවට ඇතුළුවීම තහනම් කර නොමැති බව යුධ හමුදාව පෙන්වාදෙයි.

සාමාන්‍ය ජනතාවට අවශ්‍ය පරිදි දෛනික කටයුතු කරගෙනයාමට පහසුකම් සපයා ඇති බව මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේය.

කෙසෙවෙතත් සාලාව යුධ හමුදා කඳවුර අසළින් අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු තවදුරටත් සීමා කර ඇති බව වාර්තා වෙයි.

මාර්ගය  වාහන ගමනාගමන කටයුතු සඳහා පෙරේදා රාත්‍රි විවෘත කළද තම නිවාසවල සුන්බුන් ඉවත් කරන තුරු අදාළ මාර්ගයේ වාහන ගමනාගමනය නතර කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලීමක් කළේය.

මේ හේතුවෙන් ගිලන් රථ, පොදු ප්‍රවාහන සේවා, මාර්ග සුද්දපවිත්‍ර කිරීමේ රථවාහන සහ අවට නිවැසියන්ගේ රථ වාහන පමණක් එම මාර්ගයේ  ධාවනය කිරීමට අවසර ලබාදී තිබේ.

e