කෝටි ගණනක ලොතරැයි දිනුම් ඇදෙන බව ‍ජ්‍යොතිෂයෙන් කියන්න පුළුවන්ද?

මිල මුදල් පිරි වාසනාවන්ත අනාගතයක් හිමි කර ගැනීම හැම දෙනාගේම බලා‍පොරොත්තුවයි. එකී අනාගතය උදාකරගනු වස් විවිධාකාර බලා‍පොරොත්තු සහිතව අප ක්‍රියාකරන්නෙමු. එහෙත් වාසනාවන්ත අනාගතයක් උදාකරගැනීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට ‍පොදු එක බලා‍පොරොත්තුවක්ද තිබේ. ඒ රු. 20 වැයකර රැයක් එළිවෙන විට කෝටිපතියෙකු වීම නොහොත් ලොතරැයිපතක් මිලට ගෙන ඉන් ප්‍රථම දිනුම ලබා ගැනීමය. මේ පුවත කොතරම් දුරදිග ගොස් ඇත්දැයි පවසතොත් වර්තමානයේදී එක රාත්‍රියට ලොතරැයි හත අටක් දිනුම් අදින තැනට පත්ව ඇත. කෙනෙකුගේ වාසනාව සමග කියවෙන දේ අතර ‍ජ්‍යොතිෂයටද හිමි වනුයේ ප්‍රමුඛස්ථානයකි. මේ ලොතරැයි දිනුම් පිළිබඳ ‍ජ්‍යොතිෂ අනාවැකි පළ කළ හැකිද යන්න පිළිබඳ ප්‍රවීණ ‍ජ්‍යොතිර්වේදීන්ගේ මත විමසුමකි.

මම ඉහළම ධනවතෙක් වුණේ හඳහන නිසා

– ඉරහඳ ‍ජ්‍යොතිෂ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ඉරහඳ වෙද ගෙදර අධිපති ප්‍රියන්ත රත්නායක

‍ජ්‍යොතිෂයෙන් මිනිසෙකු පිළිබඳව සෑම දෙයක්ම කියන්න පුළුවන්. මම බොහෝම දුප්පත් පවුලක හැදුණ කෙනෙක්. මම අවුරුදු පහේදි මගේ කේන්ද්‍රය බලලා කෙනෙක් කීවා මම ලංකාවෙ ඉහළම ධනවතෙක් ඉහළම තානාන්තර දරනව කියලා. පසු කාලයක මම ‍ජ්‍යොතිෂය ඉගෙන ගන්න පටන් ගත්තෙත් ඒක නිසා. අවුරුදු පහේදි මගෙ කේන්ද්‍රය බලා කියපු දෙය හරි ගියා.
කෙනෙකුගේ කේන්ද්‍රයේ දෙවැන්න, තුන්වැන්න නවවැන්න, එකොළොස් වන ස්ථානවල යෙදී ඇති යෝග බලල කෙනෙකුට ධන යෝග තියෙනව කියල කියන්න පුළුවන්. කෝටිපති ලොතරැයි කියන්නෙත් ධන යෝගයක්නේ. කේන්ද්‍රයේ ලග්නාධිපති උච්ච ස්ථානයක ඉන්නවා නම් ධන ලාභ ගැන කිව්වැකි.
හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ධන යෝග තියෙන හැම අයෙක්ම ධනපති, කෝටිපති, වෙන්නෙ නැහැ. ඒ වගේම රාජ යෝග තියෙන හැම දෙනාම රජ වෙන්නෙත් නැහැ.

ග්‍රහචාරය අනුව ධන සම්පත් ලැබෙනවාදැයි කියන්න පුළුවන්

– සම්පත ‍ජ්‍යොතිෂ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ‍ජ්‍යොතිෂ විශාරද එම්.පී. ගුණේරිස්

කෙනෙකුගේ කේන්ද්‍රයක තියෙන ග්‍රහචාර අනුව කෝටිපති ලොතරැයියක් ඇදෙනවද යන්න කියන්න පුළුවන්.
පැරණි ‍ජ්‍යොතිෂයෙහි යෝග පන්දහස් හයසිය දෙකක් තියෙනවා. ඒ අනුව කෙනෙකුගේ කේන්ද්‍රයේ ධන යෝග තියෙනවද කියල කියන්න පුළුවන්. කේන්ද්‍රයක ග්‍රහචාරය අනුව දෙවැන්නෙ තමයි ධන ස්ථානය පෙන්නුම් කරන්නෙ. මහා ඉහළ ධන සම්පතක් ලැබෙනවා නම් එකොළොස් වැන්නෙ පෙන්නුම් කරනවා.
මොන යම් ක්‍රමයකින් මහා ධන යෝගය කෝටිපති ලොතරැයියක් කෙනෙකුට ලැබෙනවා නම් ඔහුගේ කේන්ද්‍රයේ දෙවැන්න, පස්වැන්න, නවවැන්න එකොළොස්වැන්න යන ස්ථානවල බලවත් ග්‍රහයො උච්චස්ථානයේ ඉන්න ඕන. ගුරු,සිකුරු,රවි,බුධ, කියන ග්‍රහයො තමයි අර ස්ථානවල උච්චවෙලා ඉන්න ඕනෙ.
ධන කාරක ග්‍රහයා තමයි ගුරු ග්‍රහයා. ලැබෙන ධනයෙන් සැපයක් ලබන්නාගේ වාසනාව පෙර පිනක් තියෙන්න ඕන. සමහර අයට අනන්තවත් ධනය තියෙනවා. නමුත් ඒ ධනයෙන් සැප විඳින්න වාසනාව නැහැ. විවිධ බාධක ලෙඩ දුක් ඔය වගේ දේවල්. ධනයෙන් සැපතක් විඳින්න බලපාන ග්‍රහයා තමයි සිකුරු.
මේවාට පෙර ආත්මවල කුසල් කරලා තියෙන්න ඕනෙ. බඩසාවුන්ට ආහාර ලබාදීම වස්ත්‍ර නැත්තන්ට වස්ත්‍ර ලබාදීම, පිපාස වූවන්ට පානය ලබාදීම ඔය වගේ දාන පින්කම් කරල තියෙන්නෙ ඕනේ. ඉහත ආත්මවල එලෙස කුසල් කරපු අයගෙ පස් වැන්නෙ හොඳ ග්‍රහයෙක් ඉන්නවා.
මේ ගත කරන කුසල්වල පින පළ දෙද්දී කේන්ද්‍රයේ නවවෙනි ස්ථානයේ හොඳ ග්‍රහයෙක් පිහිටනවා.
මේ ඔක්කොමවල ප්‍රතිඵල ලැබෙන්නට එකොළොස් වැන්නෙ හොඳ ග්‍රහයෙක් පිහිටන්න ඕන.
කන්‍යා ලග්න හිමියෙකුගෙ කේන්ද්‍රයේ එකොළොස් වැන්නෙ ගුරු ග්‍රහයා උච්ච වෙලා හිටියොත් ධන ලාභයක් ලැබෙනවා ස්ථිරයි. එම ගුරු ග්‍රහයත් එක්ක රාහු හිටියොත් ඒක මහා ධන යෝගයක් බවට පත්වෙනවා. අන්න කෝටිපති ලොතරැයියක් හිමිකම් කීමේ අවස්ථාව. ගුරු ග්‍රහයා එක්ක, බුද සිකුරු එකට හිටියත් එම අති විශාල ධන යෝගයම බලපානවා.
කටක රාශියෙ දෙවැන්නෙ, ගුරු, කුජ එකට පිහිටියොත් ඒක ‘නීච භංග රාජයෝගය’ කියලා කියනවා. දේශපාලනය හරි නිලය නිසා හරි ඉහළ ස්ථානයකට ඇවිල්ල අයුතු ලෙස විශාල ධනයක් උපයාගන්න මේ නීච භංග රාජයෝගය උදා වූ අයට පුළුවන්. නිලය නිසා හොර මගඩි කරල ධනය උපයාගන්නත් පෙර ආත්මවල කුසල් කරල තියෙන්න ඕන.

දහවල් 11.40ට ලොතරැයි මිලදී ගැනීම සුබයි

– ප්‍රවීණ ‍ජ්‍යොතිෂඥ ආචාර්ය පියසේන රතුවිතාන

ජ්‍යොතිෂය පිළිබඳ අති විශිෂ්ට දැනුමක් තිබූ පරාශර සෘෂිතුමා ‍ජ්‍යොතිෂ සාර සංග්‍රහවල දක්වා ඇති පරිදි මිනිස් කේන්ද්‍රයකට හදිසි ධනයෝග කෝටිපති ලොතරැයියක හිමිකාරයකු වෙනවාද කියන ධන යෝග තිස් හතරක් තියෙනවා.
ඒ ධන යෝග තිස් හතර ක්‍රම දෙකකට යෙදෙනවා. පළමු එක යෙදෙන්නේ උපන් ජන්ම කේන්ද්‍රය අනුව. ගෝචර ගමනකින් ග්‍රහයන් ගමන් කරන ස්වරූපය අනුවත් හදිසි ධනයෝගයක් උදාවෙන්න පුළුවන්.
ජන්ම කේන්ද්‍රය දෙවන ස්ථානය සහ එකොළොස් වන ස්ථානවල උත්පත්ති ග්‍රහයා බලවත්ව පිහිටියොත් ධන යෝග යෙදෙනවා.
ලග්නයෙන්, පස් වන ස්ථානය සිකුරු ග්‍රහයට අයිති රාශිය වෙලා ඒ සිකුරු එකොළොස්වැන්න පිහිටීම කෝටිපති ලොතරැයියක් හිමි වීමේ උරුමකම් තියෙනවා.
ලග්නයෙන් පහ බුධ බලවත්ව සිට චන්ද්‍රයයි කුජයි එකොළොස් වැන්නෙ පිහිටීමත් ධන යෝගයට හේතුවක්.
රවි පස් වැන්නේ සිංහ රාශිය වෙලා ගුරු ග්‍රහයා සහ චන්ද්‍ර ග්‍රහයා එකොළොස් වැන්නෙ පිහිටීමත් කෝටිපති ලොතරැයියක් ලැබිමට උරුමකමක් තියෙනවා.
උත්පත්ති කේන්ද්‍රයේ දහයෙන් දහය අධිපති (7) නවයෙන් නවය අධිපති (5) ඒ දෙන්නා ගෝචර වෙන්නෙ මොන මොහොතේද ඒ අවස්ථාවේ කෙනෙකුට අතිශය විශාල හදිසි ධන ලාභයක් හිමිකර දෙනවා.
ඒ වගේම දෙවැන්නෙයි එකොළොස් වැන්නෙයි අධිපති දෙන්නා එකොළොස් වැන්නෙ හිටියා නම් ඒකත් හදිසි ධන යෝගයක්.”
සාමාන්‍යයෙන් කෙනෙකුට ලොතරැයි වාසනාවක් යෙදෙන්නේ තමන්ගේ කේන්ද්‍රයේ එකොළොස් වැනි රාශියට අධිපති ග්‍රහයා දවසෙ බුධ හෝරාවේදීය.
මේෂ ලග්නය හිමි කෙනෙකුට සෙනසුරාදා දවසක උදෑසන දහයත් එකොළහත් අතර ධන යෝගය යෙදෙනවා.
වෘෂභ ලග්න හිමියාට බ්‍රහස්පතින්දා දවසක උදෑසන දහයත් එකොළහත් අතර, මිථුන ලග්න හිමියාට අඟහරුවාදා දින උදෑසන දහයත් එකොළහත් අතර, කටක ලග්න හිමියා සිකුරාදා උදෑසන හතත් අටත් අතර සිංහ ලග්නයට බදාදා, උදෑසන හයත් හතත් අතර කන්‍යා ලග්නයට සඳුදා දහවල් දොළහත් එකත් අතර තුලා ලග්න හිමියා ඉරිදා උදෑසන අටත් නමයත් අතර,  වෘශ්චික බදාදා දහවල් එකත් දෙකත් අතර, ධනු, සිකුරාදා උදෑසන හතත් අටත් අතර කුම්භ බ්‍රහස්පතින්දා උදෑසන දහයත් එකොළහත් අතර, මීන ලග්න හිමියාට සෙනසුරාදා උදෑසන එකොළහත් දොළහත් අතර ධනයෝග උදාවෙනවා.
‍පොදුවේ දහවල් 11.40ට එළඹෙන අභිජිත් මූර්තිය බොහෝ දෙනකුට ලොතරැයි මිලදී ගැනීමට සුබයි. මේ කොයි කාගේත් පක්ෂියා රජ කරන අවස්ථාව යෙදිලා  තිබුණොත් වඩාත් සුබය.
කේන්ද්‍රයක නවවෙනි රාශියෙන් පැවසෙන්නේ පෙර ආත්මවල සිදුකළ පින කුසල් නවයෙන් නවය මත පස්වන රාශියේ එකොළොස් වන රාශියට අධිපති ග්‍රහයා ගමන් කරනවා නම් කෝටිපති ලොතරැයි දිනුමක් හිමිවෙනවා.
චාමර යෝගය, ලක්ෂ්මි යෝගය, චන්ද්‍ර අධි යෝගය, ලග්න අධි යෝගය උත්පත්තියෙන් තිබුණොත් විශාල ලොතරැයි දිනුමක් අයත් වෙනවා.
මේ අනුව කෙනෙකුගේ කේන්ද්‍රය හොඳින් පිරික්සා බලා ඔහුට කෝටිපති ලොතරැයියක් හිමිවෙනවද කියල කියන්න පුළුවන.

හදිසි ධනලාභයක් තිබේදැයි අනුමානයෙන් කියන්න පුළුවනි

– ප්‍රවීණ ‍ජ්‍යොතිෂඥ ආනන්ද සෙනෙවිරත්න

කෙනෙකුගේ කේන්ද්‍රයේ පස්වෙනි භාවයෙන් හදිසි ධන ලාභ ලැබෙනවද කියල කියන්න පුළුවන්. කෝටිපති ලොතරැයියක් ඇදෙනව කියන්නෙ සුපිරි හදසි ධන ලාභයක්නේ.
ඒ වගේම හොඳට පරීක්ෂා කරලා බැලුවම ඒ හදිසි ධන ලාභය ලැබෙන කාලයත් අනුමානයට කියන්න පුළුවන්. හදිසි ධන ලාභය ලැබෙන මාස හයක වගේ කාලයක් ගැන.
කේන්ද්‍රයේ අටවෙනි භාවයෙන් කෙනෙකුගේ හදිසි මරණයක් නිසා බූදලයක් ලැබෙනවද කියලා කිව්වැකි. ඒ වගේ අටවෙනි භාවය බලල අල්ලස් වගේ ලැබෙනවද කියලත් කියන්න පුළුවන්.
හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. හඳහන්කරු දෙවියෙක් නොවෙයිනේ. ඔහු කියන දෙය දේව භාෂිත නොවෙයිනේ. වරදින්න ඉඩකඩත් තියෙනවා.

ලොතරැයි ජයක් ලැබෙන්න සංසාරේ වාසනාවත් ඕනෑ

– ඈපා පංචාග ලිතේ  හිටපු සහය සංස්කාරක ‍ජ්‍යොතිෂඥ ප්‍රශාන් මලවිගේ

කෝටිපති ලොතරැයියක් ලැබිමට සංසාරික වාසනා ගුණයක් තියෙන්න ඕන. ඔහු විසින් පෙර කරන ලද කුසල් කර්මයන්් තියෙන්න ඕන.
කෝටිපති ලොතරැයියක් හිමිවන කෙනෙකුගේ චන්ද්‍රයා බලවත් ඒ වගේම එලෙස ලැබුණ හදිසි ධන ලාභයෙන් නිසි ලෙස පරිහරණය කරන්න ඥාන ශක්තියක් තියෙන්න ඕන. ඒ කියන්නේ එවැන්නගේ කේන්ද්‍රයේ බුද බලවත්ව තියෙන්න ඕන.
ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් අතරින් එක් අයකුට පමණක් අති සුවිශාල ලොතරැයියක් ඇදෙන්න පරිසරය අවශ්‍ය විදියට නතුකර ගැනීමේ ශක්තියක් එම තැනැත්තාගේ කේන්ද්‍රයේ පිහිටලා තියෙන්න ඕන. ඒ කියන්නේ කේන්ද්‍රයේ හයවැන්න බලවත්ව පිහිටලා තියෙන්න ඕන.
ලොතරැයයික් කියන්නේ අන්සතු ධනයක්නේ. ඒක නිසා ලොතරැයියක් ඇදෙන්න කෙනෙකුගේ කේන්ද්‍රයේ අටවැන්නත් බලවත්ව පිහිටලා තියෙන්න ඕන.

හදිසි ධනලාභ ලැබෙන්නේ රාහු උච්ච වූ විටයි

– ප්‍රවීණ ‍ජ්‍යොතිෂඥ එඩී කරුණාතිලක

පෙර කරන ලද පින් කුසල් අනුව හඳහනේ ග්‍රහයන් පිහිටා ඇති අන්දම සලකා බලා කෙනෙකුට හදිසි ධන ලාභයක් කෝටිපති ලොතරැයියක් ඇදෙනවා කියල කියන්න පුළුවන්.
රාහු උච්ච වීම හෙවත් විශාල ලෙස බලවත් වීම් සුබ ග්‍රහයින්ට පෙනී සුබ ග්‍රහයින්ගේ රාශියක් ද වී එකොළොස් වැන්නහි පිහිටීම හදිසි ධන ලාභ ලැබිම ප්‍රකට කරනවා.
ඒ වගේම හතර අධිපතියා බලවත්වී පස්වැන්නේ හෝ එකොළොස්වැන්නහි පිහිටීම හදිසි ලොතරැයියක් ඇදීමේ වාසනා ගුණය පෙන්නුම් කරනවා.
ඒ වගේම තමයි බුධ බලවත්වී ඒ සමගම රවි, ගුරු වැනි ග්‍රහයින් බලවත්වීමෙන් ඉගෙනීම නිසා විශාල ධනයක් උපයා ගන්න බව පෙන්නනවා. ඒ වගේම සිකුරු බලවත්වී දහ වැන්නෙහි පිහිටීමෙන් ගායනය හෝ රංගනයෙන් විශාල මුදලක් උපයා ගන්නා බව පෙන්නුම් කරනවා.

1

(පීටර් කැනියුට් පෙරේරා)