කසාද බැන්ද දාම දරුවෙක් ලැබිලා

“මනො පුබ්බංගමා ධම්මා – මනො සෙට්ඨා මනොමයා
මනසාචෙ පදුට්ඨෙන – භා සතීවා කරොතිවා
තථොනං දුක්ඛ මන්චේති
චක්කංච වහතො පදං”

8
“මිනිසෙකු සිතනා සිතිවිලින්, මිනිසෙකු කරන ක්‍රියාත් ගොනා පසුපස එන ගැල සේ තමාගේ පසු පස හඹාඑයි.”
ධම්ම පදය.
සැබැවින්ම ජීවිතය ආශ්චර්යයකි. කෙනෙකු ධනවත්ය. කෙනෙකු දිළිඳුය. කෙනෙකු රුවැතිය. කෙනෙකු විරූපීය. ධනවත් පවුල්වල විවිධ ආබාධ ඇත්තෝ වෙති. දිළිදු පවුල්වල බොහෝ රුවැත්තෝ වෙති. ඔවුනට ජීවිතය ලැබී ඇත්තේ ඔවුන් කළ කර්මඵලවලට අනුවය. මිහිපිට අපායක් ඇත. මිහිපිට දෙවිලොවක් ඇත. තේරුම්ගත යුතු සත්‍ය වන්නේ තමන් කවුරුද කරන්නේ කුමක්ද යන්න පමණි.
බුදු දහමේ තුන්වන සිල්පදය වන්නේ කාමය වරදවා නොහැසිරෙමි යන්නය. එම සිල්පදය කැඩූ යුවලකට දඬුවම් මොලොවදීම ලැබීම පිළිබඳ පුවතක් 1960 දශකයේදී උඩුගල ප්‍රදේශයෙන් වාර්තා විය. එය එදා අලෙවි වූ ශත දහයේ කවි කොළයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ විසූ ඩබ්ලිව්. සයිමන්ද සිල්වා මහතා සටහන් තැබීය.
ඒ පුවත මෙසේය.
උඩුගල ග්‍රාමයට සැතපුම් හතකට දුරින් එක් සොදුරු ගම්මානයක් විය. එහි බතින් බුලතින් ආඪ්‍ය වූ ධනවත් පවුලක් විසූ අතර ඔවුනට ඇග්නස් නෝනානම් රූමත් දියණියක් සිටියේය.
සියලු සැප සම්පත් හිමිවුවද ඇග්නස් නෝනා ඇති දැඩිවූයේ හුදෙකලාවේය. ඇගේ මව්පියන්ට ඇය පිළිබඳව සොයා බැලීමට කාලයක් නොවීය. ඔවුන් දිවා රෑ මහන්සි වූයේ තව තවත් ධනය තර කර ගැනීමටය. මව්පිය සෙනෙහස අහිමි ඇග්නස් නෝනා දිනෙන් දින වැඩුණාය. ඇගේ පුංචි සිතට එන සියලු ගැටලුවලට විසඳුම් සෙවුයේ බුද්ධි මගිනි. බුද්ධි ඇගේ නිවසේ සිටි මෙහෙකරුවා විය. ඇග්නස්ගේ පාළුව මකාදැමීමට රසවත් කතා කියදෙනු ලැබුවේ බුද්ධි විසිනි. ඇග්නස් සමඟ හැංගි මුත්තං සෙල්ලම් කළේ බුද්ධිය. ටිකෙන් ටික වැඩෙමින් සිටි දියණිය පිළිබඳ මීටත් වඩා සෙවිල්ලෙන් සිටිය යුතු බව ඇගේ මව තේරුම් නොගත්තාය. මුදලට මූලික තැනදී ඇගේ ආරක්ෂාව ගෙදර මෙහෙකරුවාට  පැවරුවේය.
ඇග්නස් නෝනා ටිකෙන් ටික වැඩුණාය. වැඩිවියට පත්වූ ඇය ළමා මනසින් සමුගත්තාය. යෞවනියක් ලෙස සිතීමට, ලස්සනට ඇඳීමට පැලදීමට කැමැත්ත දැක්වූවාය. මුදල් හම්බ කිරීම ජීවිතය කරගෙන සිටි මව්පියන්ට ඇය ගැන සොයාබැලීමට කාලයක් නොවීය.
ඒ වන විට බුද්ධිගේ වයස අවුරුදු 23ක් වූවේය. ඔහු හිරිමල් යෞවන වියේ පසුවිය. වසර කීපයකට පෙර දැරියක ලෙස සුරතල් කෙරූ ඇග්නස් නෝනා පිරිපුන් යෞවනියක්ව ඔහු දැක්කේය. ඇගේ රුව, ඇගේ දඟකාරකම් ප්‍රිය කළ බුද්ධි ඇය වසඟයට ගත්තේය. සමාජ අවබෝධයක් නොවූ ඇග්නස් නෝනාගේ එකම හිතවතා බුද්ධි විය. ඇගේ ලෝකයේ වීරයාද ඔහුවිය. විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇතිවන එම හිරිමල් යොවුන් විය ඇය ගෙවා දැමුවේ බුද්ධි සමඟය. ආදරය, ලිංගිකත්වය වෙන්ව තේරුම්ගත නොහැකි කාලයකදී ඇය ඔහු අතින් විනාශයට පත් වූවාය. සිය දියණිය නිවසේ මෙහෙකරුවා අතින් විනාශ වූ බවක් ඇගේ මව්පියෝ නොදත්තහ. දින සති මාස ගෙවී ගියේය. ඇග්නස් නෝනාගේ චර්යාවත් වෙනස් විය. නිතරම නිදිමත ගතියෙන් පසුවූ ඇය ඇඹුල් ජාති කෑමට ප්‍රිය කළාය. මෙම වෙනස් කම් හමුවේ බුද්ධි බිය විය. ඔහු ඇග්නස් නෝනා හැරදා පළා ගියේය. ඒ වන විටත් ඇග්නස් නෝනාගේ කුසට මාස හයක් සපිරී තිබුණි. ඉදිරියට නෙරාඑන කුසත් ඇගේ දෛනික වෙනස්කමුත් මවගේ නෙතගට හසුවන්නේ ඉන් පසුවය. ඒ වන විට සිදු නොවිය යුතු බොහෝ දේ සිදුවී තිබුණි. යහමින් මුදල් – හදල් තිබූ මෙම මව්පියෝ ලොකු දෑවැද්දකින් සිදු වූ ලැජ්ජාව වසා ගැනීමට සිතූහ. ඒ නිසාම කපුවෙකු මාර්ගයෙන් සිය එකම දියණිය විශාල දෑවැද්දක් සමඟ විවාහ කර දෙන බව ප්‍රසිද්ධ කළහ.

04-page-6-BA
ඇග්නස් විවාහ කර ගැනීමට උඩුගල විසූ රූමත් තරුණයෙක් මනාප විය. ඔහු වැඩියෙන්ම මනාප වූයේ ඇයට ලැබෙන දෑවැද්දටය. සිව් පාර්ශ්වයේ නෑදෑයෝ එකතු වී මංගල කටයුතු සිදු කළහ. සුබ නැකතින් මනමාලිය මනමාලයාගේ නිවසට කැඳවාගෙන ගියහ. ඇය සයනයට විය. මනාල මහතා මනාලිය සමීපයට යාමට සිහින දකිමින් එළියේ වූ පැදුරු සාජ්ජයට සහභාගී විය. සිංදුව සාරවත්ය. ඩොල්කිනාදය රිද්මයානුකූලය. සතුටු සිනා, සතුටු කතා පිරීඉතිරි ගියේය.
ගත වූයේ නිමේෂයකි. මනාලිය සිටි කාමරයෙන් සිහින් කෙඳිරියක් ඇසෙන්නට විය. තවත් මොහොතකින් දරුවෙකුගේ “ඔහෑ…..ඔහෑ……..” ශබ්දය පැතිර ගියේය.
මනාල මහතාගේ මව කාමරයට එබී බැලුවාය. අලුත් ලේලියට මංගල දිනයේම දරුවකු ලැබී ඇත. ඇගේ හිස කැරකෙන්නට විය. ලැජ්ජවෙන් බරවූ හිසින් කෑකෝ ගසන්නට විය. මනාල මහතාද කාමරයට පැමිණියේය. සිදුවී ඇති දෙය දැන ගත්තේය. නිවසට පැමිණ සිටි මිතුරෝ පැදුරු සාජ්ජය නවතා දැමූහ. මුදල් නිසා වැටුණු ආමරුව ගැන මනාලයා කල්පනා කළේ ඒ මොහොතේය. කිසිවක් පිළිබඳ සොයා නොබලා කරගත් විවාහයට කිසිවෙකුටත් දොස් නැගිය නොහැකිය. ඔහු පිස්තෝලය ගෙන පපුවට වෙඩි තියාගත්තේය. මංගල යහන ලෙයින් තෙත්විය. දරු ප්‍රසූතියෙන් වේදනාවට පත්ව සිටි ඇග්නස් නෝනාට මෙය දරාගත හැකිනොවීය. ඇය පිළිබඳව සොයා බැලීමට ඒ නිවසෙහි කිසිවකුත් නොවුණි. දරු ප්‍රසූතියෙන් පසු දුබල වී සිටි ඇයත් ඒ මංගල යහනෙහිම අවසන් හුස්ම හෙළුවාය. මේ සියලු සිදුවීම් ගම්මුන්ගේ කතාබහට ලක්විය. මේ මරණයට වඟකිව යුතු බුද්ධි පිළිබඳව තතු සෙවූහ.
ඔහු කඩයක සේවය කළේය. එහෙත් සල්ලාලකමේ අඩුවක් නොවීය. කඩයට එන ගැටිස්සියන්ට නොමනා විහිළු තහළු කිරීම සිරිත විය.
ඒ ගමේම දුප්පත් පවුලක් ජීවත් වූ අතර ඔවුනට රූමත් දියණියක් විය. ඇගේ නම චාලට් නෝනාය. චාලට් නෝනා මව සාදාදෙන කඩයප්පන් කඩයට දැමීමට යන්නීය. ඇගේ සොදුරු රුව බුද්ධි දකින්නේ එහිදීය. චාලට්ගේ පහස විඳීම ඔහුගේ නවතම ආශාව කර ගත්තේය. ඔහු චාලට්ගෙන් ඒ පිළිබඳව විමසුවේය. දුප්පත් වුවද චාලට් යහගුණ ඇත්තියකි. ඇය බුද්ධිගේ සල්ලාල හිත හැදින ගත්තීය. ඒ නිසාම ඔහුට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතුවාය.
“අද රෑ 8ට අපේ ගෙදර පිටි පස්සේ තියෙන වැසිකිළියට එන්න”
ඇගේ වචනය බුද්ධිට ඉහේ මලක් පිපුණා බඳුය. රාත්‍රීය එනතුරු නොයිවසිල්ලෙන් බලාසිටි බුද්ධි හනි හනිකට චාලට්ගේ නිවසේ පිහිටි පැරණි වැසිකිළියට ගමන් කළේය. සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. දිරාගිය ලෑලි කඩාගෙන බුද්ධි වැසිකිළිවළට ඇද වැටුණේය. ඔහුගේ උදව්වට කිසිවෙකුත් නොසිටි අතර අසූචි වළේම අවසන් ගමන් ගියේය.
ඔහුගේ මරණය පිළිබඳව කිසිවෙකුත් විස්සෝප නොවීය. එක් ගැහැණියක් අනාථ කර දරුවකුදී තවත් ගැහැණියකගේ ගෞරවය විනාශ කිරීමට කටයුතු කළ සල්ලාලයෙකුට හිමිවිය යුතු දඬුවම සොබාදහම ඔහුට දී ඇති බව ඔවුහු පැවසූහ.
මේ පිළිබඳව අන් තරුණ පරපුරටද ආදර්ශගෙන දෙමින් 1968 වසරේ කවි කොළයක් නිර්මාණය විය. එහි කතුවරයා කිරිබත්ගොඩ ඩබ්ලිව්. සයිමන්ද අල්විස්ය.

 

1234

m