නයිහාමි, හිටිහාමි පරලොව යැව්වේය

ජීවිතය නිවැරැදි මගට ගැනීමට මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

3

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවූ කතාවක් මෙසේය.

රාගය නිසා මේ ජීවිතයේදීම අත්වූ ඉරණම

භාර්යාවෝ, දූ දරුවෝ, සහෝදර සහෝදරියෝ, ආහාරපාන, වස්ත්‍රාභරණ, යාන වාහන ආදී නොයෙකුත් පාරිභෝගික භාණ්ඩ, නැටුම් ගැයුම්, රන් රිදී මුතු මැණික් ආදී සත්ත්වයන් සොයන යමක් ඇත්නම් ඒ සියල්ලම “කාමය” යයි කියනු ලැබේ. ඒවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ යන කරුණු පහට ඇතුළත් කොට “පංචකාමය” යයි කියනු ලැබේ. මෙම පංච කාමය වනාහි ඉතා ආස්වාදජනක දෙයකි. තවත් පැත්තකින් එම පංචකාමය සත්ත්වයන්ට තිබෙන මහා නපුරකි. හාත්පස දස දිසාවෙන්ම රුවන් වැසි වැස්ස ද සත්ත්වයන්ට කාමයෙහි, රාගයෙහි තෘප්තියට පැමිණීමක් නැත. එසේ තෘප්තියට පත් නොවීමෙන් මරණයට පත්වෙති.
දීර්ඝ වූ මෙම සංසාර ගමනෙහි ඇතිවන අනේකවිධ දුක්දොම්නස්වලට සැබෑ හේතුව වශයෙන් සැලකිය හැකි වන්නේ කාමය සහ රාගයයි. රාගය නිසා මිනිසුන් කොතරම් හඬාවැලපෙත්ද? කොතරම් නිදිවරමින් කල්පනා කර ඇත්ද? කොතරම් කලකෝලාහල සිදුවී ඇත්ද? කුසගින්න, සාපිපාසාව, නොතකමින් කොතරම් නිදි වර්ජිතව සිටින්නට ඇත්ද? මෙම තත්ත්වය මේ ජීවිතය තුළදීම රාගය නිසා අත්විඳින්නට සිදුවන පල විපාක වශයෙන් පෙන්වාදිය හැකිය. රාගය නිසා තාවකාලික සුවයක් ලැබුණත් රාගයෙන් මත්වීමෙන්, රාගයෙන් රත්වීමෙන්, අන්ධවීමෙන් මිනිසුන් විසින් තමාටත්, අන් අයටත්, සත්ත්ව සන්තතිය ප්‍රධානකොට ඇති සමස්ත පරිසරයටත් සිදුකරනු ලබන හානිය  කොතෙක්ද යන්න සිහි නුවණින් විමසිය යුතුය.

KALAKAM_P13_FI
“නත්ථි රාග සමෝ අග්ගී……. රාගය සමාන ගින්නක් නැත” යනුවෙන් දේශනා කළ බුදුරජාණන් වහන්සේ පෘතග්ජන මිනිසුන්ට ස්වභාවයෙන් ඇතිවන රාගාදී සිතිවිලි පාලනය කරගැනීමට උපදෙස් ලබාදුන්හ. එහිලා බුදුදහමෙහි උගන්වන පංචශීලය බෙහෙවින් වැදගත් වෙයි. තුන්වැනි සිල් පදය වන්නේ කාමයන් වැරැදි ලෙස සේවනය කිරීමෙන් වැළකීමයි. විවාහක යුවළක් ඔවුනොවුන්ගෙන් වෙන්ව වෙනත් අය සමග කාම සේවනයෙහි යෙදීම මෙයින් අදහස් කරයි. එය කාමය වරදවා හැසිරීමකි. කාමයෙහි වරදවා හැසිරීම මගින් තම තමන්ගේ ශරීර සෞඛ්‍යය පිරිහීමට පත්වෙයි. ඒඞ්ස්, ගෝනෝරියා, උපදංශ, හර්පියුස් වැනි සුව කළ නොහැකි මෙන්ම වසංගත රෝගවලට ද ගොදුරුවිය හැකිය. තම තමන්ගේ ආධ්‍යාත්මික පරිහානිය ද එයින් පිළිබිඹු වෙයි. රාගයෙන් යුතුව කරන වැරැදි කාම සේවනය නිසා පවුල් පරිසරය බිඳවැටෙයි. ඔවුනොවුන් අතර විශ්වාශය බිඳවැටීම නිසා නිතර ගුටි බැට හුවමාරුව, බරපතළ තුවාල වීම්, සියදිවි නසා ගැනීම්, දරුවන් අනාථවීම් වැනි දෙය සිදුවන බව පැහැදිලිව දක්නට ඇත.
යහපත් පවුල්  ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය සදහම් කරුණු බුදුහිමියෝ සූත්‍ර ගණනාවකින් පෙන්වාදුන්හ. “පටමක සංවාස” සූත්‍රයේ අඹුසැමි යුවළක් “දේවෝ දේවියා සද්ධිං සංවසති, ඡවෝ ඡවාය සද්ධිං සංවසති, ඡවෝ දේවියා සද්ධිං සංවසති” ආදී වශයෙන් මිනිස් දෙවියෙක් සහ මිනිස් දෙවඟනක් මෙන් වාසය කිරීම වැදගත් වන බව පෙන්වාදුන්හ. රාගය නිසා තම දරුවන් පවා ඝාතනය කළ මව්වරුන් පිළිබඳ ඇතැම් ජාතක කථාවල සඳහන් වෙයි. එසේම මාපියන් ඝාතනය කළ අවස්ථාවන් ගැන ද අසන්නට ලැබෙයි. රජකම පවා අත්හැර දැමූ සිද්ධීන් ඉතිහාසයෙහි සටහන්ව ඇත. එපමණක් නොව ධ්‍යාන ලබාගත් තවුසන් පවා රාගයෙන් අන්ධ බවට පත්ව තම ධ්‍යානයන්ගෙන් පිරිහුන අවස්ථාවන් පිළිබඳ අසන්නට ලැබෙයි. මෑත කාලයෙහි රාගයෙන් මත්වූ පුද්ගලයන් තිරිසන් සතුනටත් වඩා අන්ත ලෙස ක්‍රියාකළ ආකාරය “සේයා සඳෙව්මි” ළදැරියගේ ඝාතනය වැනි සිදුවීම්වලින් පෙනෙයි. රාගයෙන් අන්ධ වූ විට වැදු මව් වුවද තම ගොදුර කරගත් නරුමයන් ගැනත්, වයෝවෘද්ධ කාන්තාවන්ට පවා අතවර කළ නරුමයන් ගැනත් අසන්නට ලැබෙයි. රාගය සමග ද්වේෂය හටගැනීම ඉතා භයානකය. තම  අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වූ විට එම බාධකයන් කෙරෙහි බලවත් ද්වේෂයක් ඇතිවෙයි. එවිට එවැනි පුද්ගලන්ට නොකළ හැකි අපරාධයක් නැත.
රාගයෙන් අන්ධවීම නිසා විපතට පත් පවුල් බොහෝ ඇත. එවැනි එක් පවුලක් පිළිබඳ හඳුන්වාදීමට අදහස් කළෙමි. එය තරමක පිටිසර ගම්මානයකි. සරුසාර පොල් වගාවෙන් යුතු එම ගම්මානයේ වාසය කළ තරමක වත් පොහොසත්කමකින් යුතු පුද්ගලයෙකි. ගමෙහි පොහොසතා කීවොත් වැරැදි නැත. ඔහුට රූමත් බිරිඳක් ද සිටියි.  විවාහ වී වසර කිහිපයක් ගතවුවද දරු සුරතල් බැලීමට වාසනාවක් නොතිබුණි. එහෙත් පොල් ඉඩම් කිහිපයක්ම මිලට ගැනීමට “සාදිරිස්” මුදලාලිට හැකිවිය. තනිවම පොල් ඉඩම් බලාකියා ගැනීමට නොහැකි නිසා සාදිරිස් තමන්ට දුර ඥාතිත්වයක් දරන තරුණයකු ගෙන්වා ගත්තේය. හැඩි දැඩි දේහයකින් යුතු එතරම් උගත්කමක් නොමැති එම තරුණයා ගෙය ආසන්නයේම තිබූ ස්ටෝරු කාමරයෙහි නවාතැන් ගත්තේය.
සාදිරිස් මුදලාලි තම රූමත් බිරිඳගෙන් සෑහීමට පත්නොවුණි. හෙතෙම තමන්ගේම වත්තෙහි වැඩට එන තවත් කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේය. මෙම ඇසුර තම බිරිඳට රහසේ පවත්වාගෙන ගියත් වැඩිකල් එය රහසක් වශයෙන් නොතිබුණි.  කෙසේ හෝ බිරිඳ මෙම රහසිගත සම්බන්ධතාව දැනගත් පසු නිරතුරුවම නිවසෙහි රණ්ඩුසරුවල් ඇතිවිය. දෙදෙනා ගහ බැණගත් වාර අනන්තය. ඇතැම් රාත්‍රීවල සාදිරිස් මුදලාලි ගෙදරින් පිටවූ පසු නැවත එන්නේ පසුදින අලුයම් කාලයෙහිය. මෙසේ කලක් ගතවූ පසු බිරිඳ සහ වැඩකාර තරුණයා අතර ද රහසිගත සම්බන්ධතාවක් ගොඩ නැඟුණි. සැමියා නිවසෙන් පිටවූ පසු බිරිඳ වැඩකාර තරුණයා සිටින ස්ටෝරු කාමරයට වැදුණාය. ඔවුහු ද රිසිසේ රාගයෙහි, කාමයෙහි ආශ්වාදය විඳගත්හ. මෙසේ ටික කලක් ගතවිය. දිනක් සාදිරිස් මුදලාලි රාත්‍රියේ හදිසියේම නිවසට පැමිනුණි. අඩවල් කර තිබූ දොරෙන් නිවසට ඇතුළු වූ ඔහුට සිය බිරිඳ දක්නට නොලැබුණි. ඔහුගේ හිතෙහි මෙතෙක් දවසක් තිබූ සැකය තහවුරු වූ බවක් දැනුණි.
සාදිරිස් හඬ නොනැගෙන සේ අඩි තබමින් ස්ටෝරු කාමරය වෙත ගියේ එම මෙහොතෙහි අතට අසුවූ වක් පිහියත් රැගෙනය. කාමරය තුළ දක්නට ලැබුණ දසුනෙන් හෙතෙම රකුසකු මෙන් කෝපයට පත්විය. වියරුවෙන් එක්වරම ඉදිරියට පැන්න ඔහු එල්ල කළ වේගවත් පිහි පහර වැදුණේ තරුණයාගේ ගෙල හරහාය. තරුණයා බේරාගැනීමේ අදහසින් ඉදිරියට පැන්න බිරිඳට දෙවනුව එල්ල කළ පිහි පහර වැදුණි. මරු විකල්ලෙන් දඟලන බිරිඳත්, තරුණයාත් දෙස බැලූ සේදිරිස්ට දෙදෙනාම තවත් වැඩි වෙලාවක් ජීවත් නොවන බව හැඟුණි. තමන්ට ගැලවීමක් නොවන බව වටහාගත් හෙතෙම ලහි ලහියේම ලණුවක් රැගෙන ගෙයි යටලීයෙහි බැඳ ගෙල වැළලා ගත්තේය. මළමුත්‍ර වගුරවමින්, දිව ද එළියට ඇදගෙන ඔහු ද මරණයට පත්විය. ඔවුන් තිදෙනාගේම සිරුරු එකම දින එකම ස්ථානයක මිහිදන් කිරීමට සිදුවිය.
රාගයෙන් බැඳුණ කාමාශාවට ද්වේශයත් එක්ව ඇතිකරන ලද විපාක කොතෙක්ද? ඔවුන් තිදෙනාම කරන ලද වැරැදිවල විපාකය මේ ජීවිතයේදීම පලදුන් බව පසක් වෙයි. මරණින් මතු ද ඔවුනට සුගතියක් අත්වේ යැයි සිතිය නොහැක.

 
අම්බලන්ගොඩ එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

නයිහාමි, හිටිහාමි පරලොව යැව්වේය.

දිස්ත්‍රික්ක දෙකක් එකිනෙක යා කරන බිම්කඩක පිහිටි ගමකි. උස් කඳු මුදුන් සහිතය. කොස්, පොල්, දෙල්, පුවක් ආදී වගාවන් පැවතිණි. අඹ, දඹ, නාරං, වෙරළු, දොඩම් ඈ නෙක පලතුරු ද නොඅඩුය. අල, බතල, මඤ්ඤොක්කා, එළවළු ආදිය ගැමියන්ගේ අහර වේල සරු කළේය. ගැමියන් අලසයන් නොවූ බවට ඒවා සාධකය. කඳු පල්ලෙමේ ළිඳෙන් දියගෙන එන කාන්තාවෝ  නිරෝගී බව ගැමියන්ගේ සම්පත බව නිහඬව කියති. කන්ද කපා ගෙපල ඇද තනාගත් පොල් අතු සෙවිලි කළ කටුමැටි බිත්ති නිවාස රැසක් ගමෙහි වේ.
ගම්වැසියන් ධාර්මිකය. සාමකාමිය. ශක්තිමත්ය. එබැවින් ගලින් ගලට පා තබමින් අඩිපාරේ ගමන් කිරීම ඔවුනට අපහසුවක් නොවේ. ගමේ එකිනෙකා සමගියෙන් සිටිය ද එම සාමකාමී බව, සහජීවනය බිඳහෙළන අපතයින් ද නොසිටියා නොවේ. ඒ කීපදෙනා අතුරින් ගමටම පිළිලයක් වූයේ හිටිහාමි හෙවත් හින්නියාය.
ගැමියෙකුගේ වත්තක කෙසෙල් කැනක් පැසී තිබෙන්නට ඔහු ඉඩ නොහරී. පැසුණු පොල් වල්ලක්, පුවක් වල්ලක් හිමිකරුවන්ට කඩාගැනීමට ඉඩ නොලැබේ. අපහසුවෙන් වගාකළ එළවළු ආදිය ද නෙළා ගනී. තෙලිජ්ජ මුට්ටි රාත්‍රී කාලයේ කිතුලට නැග බාගනියි. ගමේ පමණක් නොව අසල ගමක ගවයන් අතුරුදහන් වුවොත් එහි වගකීම ද හින්නියා වෙත පැවරේ.
හින්නියාට එරෙහිව ගම්මුලාදෑනියාට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව බෙහෝය. අවවාද කළ ද දඬුකඳේ ගැසුව ද පොලිසියට පැමිණිලි කළ ද හින්නියාගෙන් ගම්මුන්ට සිදුවන හිරිහැර අඩුවක් නැත. මේ නිසා ගම්මුලාදෑනියාට හින්නියා මහත් හිසරදයකි.
මේ හිසරදයෙන් කෙසේ මිදෙම්දෝයි සිතමින් කල් ගෙවූ ගම්මුලාදෑනියාට හදිසියේ ඊට පොටක් පෑදිණි. මොරවක්කෝරළයේ තේ වගාකිරීම සඳහා ඉඩම් ලබාදීමට නම් කීපයක් එවන ලෙස දිසාපති එවූ ලිපිය ගම්මුලාදැනියාට මහත් සහනයක් විය.
හින්නියා ඇතුළු කීපදෙනකුට මොරවක්කෝරලයෙන් ඉඩම් හිමි විය. එහි ගිය ද හින්නියා සමාගමය පැවැත්වූයේ ඔහු මෙන්ම, වෙනත් ගම්වවලට එපාවී පලවාහරින ලද නොසණ්ඩාලයන් සමග ය. දවල් කාලයේ අවට ගම්මානවල ඇවිද මගතොට හඳුනාගෙන වෙනත් තොරතුරු ද රැස්කර ගනී. ඇඳිරි වැටෙත්ම දහවල් නිශ්චය කරගත් හොරකම සිදුකරයි. සතෙක් තලාගෙන බත් පත සමග මස් රස බලයි. ගමේ දී නොවූ තවත් නොසණ්ඩාලකමකට ද නව මිතුරන් නිසා පුරුදු විය. එය ස්ත්‍රී ලෝලිත්වයයි. තම නෙතගිය කතකගේ පහස හොඳින් හෝ නරකින් හෝ විඳගැනීමට හින්නියා සමත් විය.
හිරු බැස අඳුර ගලාඑමින් තිබුණි. සවස් කල වට වැසි නතර වී දිය ගලා ගියේය. සීතල සුළං රැළි ගත හිරිහඩු නැංවීය. හින්නියා අඩි පාරේ දිගේ ගමන් ගනී. මඟ අසල නිවසකි. මඳක් නතර වී එදෙස බලා සිටියේය. සාලයේ කුඩා බංකුවක් මත කුප්පිලාම්පුවක් දැල්වේ. කාන්තාවක් බිම හිඳ දරුවාට කිරි පොවන්නීය. දුර සිට හින්නියා කාන්තාව දෙස විපරම් නෙත් හෙළීය. ඇය මැදි වයසට එළඹ සිටියේය. ගත පැහැපත්ය. පෘෂ්ඨිමත්ය. උඩුකය නිරුවත් හින්නියාගේ ගත පුරා හිරිහඩු පහවී උණුසුම් වන්නට විය. රාග ගින්න බලවත්ව නැගී ආ හෙයිනි. නිවසේ අන් අයෙක් වෙත්දැයි සැකහැර දැනගනු වස් තව ටික වේලාවක් නිරීක්ෂණයේ යෙදුණි. නැත. ගෙදර අන් කිසිවෙක් නැත. එක එල්ලේ ගෙට රිංගා ගත් හින්නියා කෑගැසිය නොහැකිවන සේ කාන්තාවගේ මුව මිරිකා ගත්තේය. මවගේ තන පුඩු මුව තුළ ලා රිසි සේ කිරි උරාබොමින් සිටි බිලිඳා ඇද ඉවතට දැමීය. හදිසියේ ගිලිහුණු පියයුරෙන් ගලාගිය කිරි කඳුළු මවගේ ලැම තෙත් කළේය. දරුවාගේ මුවගින් මව් කිරි බේරුණි. බිළිඳු කෑමොර තබයි. ලාම්පුවට පා පහරක් එල්ල කළ පාහරයා බලෙන් රෙදි උනා දැම්මේය. කාමුක අධමයාගෙන් ගැලවීමට අසරණ කත ගත් සියලු තැත ව්‍යර්ථ විය. පහත් පාපතර ආශාව ඉටුකර ගත් හින්නියා වැට පැන අඳුරට එක්විය.
කිසිම නිරි සතෙක් හෝ දෙවියෙක් එම කතගේ පිහිටට පැමිණ අධමයා පලවා නොහැරියේය. ඒත් ඔහු පැමිණෙන තෙක් එක් අයෙක් මඟ අසල සැඟවී සිටියේය. ජයග්‍රාහී ලීලාවෙන් හින්නියා ඉදිරියට යයි. කෙමෙන් කෙමෙන් හෙතෙම තම අවසානය කරා ළඟා වෙයි. ගත වූයේ නිමේෂයකි. එක වරටම “බුදු අම්මෝ” යි කියමින් ලේ පෙරෙන කකුල බදාගෙන මඳ දුරක් තනි අණ්ඩෙන් ඉදිරියට ගියේය. නයිහාමි ද ජයග්‍රාහී ලීලාවෙන් ඈතට ඇදී ගියේය.
හින්නියාට වැඩි දුරක් යාමට ඉඩ නොලැබුණි. සිහි මුර්ජා වී ඇදවැටුණි. පසුදා උදේ මඟ යන්නෙකුට හමුවූයේ හින්නියාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරයි.
උහුමීය ගුණතිලක මැටියගනේ මහතා ලියා එවූ කතාවකි.
එසැණින් එලෙසින් පලදුන් කළකම්……….
ඔහුගේ රැකියාව අනුව අපට ඔහුට දිය හැකි හොඳම අන්වර්ථ නාමය නම් මස්තාන්ය. ඒ ඔහුගේ ගනුදෙනුව ඇත්තේ සතුන්ගේ මස් සමග වන හෙයිනි. ඔහු කුකුළන්, එළුවන්, ගවයන් මිලදීගෙන බලපත්‍ර ඇතිව මෙන්ම නැතිවත් උන් මරා විකුණයි.
එදාම ඔහු මංගල උත්සවයකට මස් ඕඩරයක් බාරගෙන ඒ සඳහා පළමු වටයේ දී කුකුළන් තිහක් පමණ කූඩයට ලා තැපැල් නයින්ටියේ බැඳගෙන ඇවිත් උන් ජීවිතය ඉල්ලා මරහඬ තලමින් එක කැම්බැල්ලෙට කෑමොර දෙද්දී දෙපයින් පාගාගෙන උන් සියල්ලගේ බෙලි කපා දමා සුද්ද කිරීම ගෝලයින්ට පවරාදී තෙමේ ඊළඟ තොගය ගෙන එනු පිණිස යළිත් යතුරුපැදියට නැඟ මස් කඩය ඉදිරිපිටින් පාරට දැමුවා පමණි. පාරේ අනික් පැත්තෙන් පැමිණි නිල්පාට ඉසුසු තට්ටුවක් මස්තාන් යටකරගෙන ටික දුරක් ඇදී ගියේය. සෑහෙන පරිශ්‍රමයක් දරා මස්තාන්ගේ සිරුර ලොරිය යටින් එළියට ඇදගන්නා විට පුදුමාකාර යමක් කාටත් දැකගන්නට හැකිවිය. එනම් ඊට අඩ හෝරාවකට පෙර මස්තාන් කුකුළන් තිහකගේ පමණ බෙලි කපා දැමූ ආකාරයටම මස්තාන්ගේ බෙල්ල ද ලොරිය යට යකඩ පටියකින් වෙන්වන තරමට කැපී ගොසින් තිබූ ආකාරයයි. මෙතැනදී ඔප්පුකොට පෙන්වන සනාතන ධර්මය නම් බුදු වදනින් නිරූපිත දිට්ඨධම්මවේදනීය කර්මය හෙවත් මෙලොවදීම පඩිසන් දෙන කර්ම යන්න නොවේද?

මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

m

5