දරුවන් සම්බන්ධ කටයුතුවලදී ජනමාධ්‍ය ඉතා වගකීමකින් කටයුතු කළ යුතුයි

දරුවන් සම්බන්ධ පුවත් ප‍්‍රචාරණයේදී ඇතැම් ජනමාධ්‍ය තම පැවැත්ම පිළිබඳ පමණක් සිතමින් කටයුතු කරන අතර දරුවන්ගේ අනාගතය පිළිබඳ අවධානය යොමු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

එබැවින් සියලු ජනමාධ්‍යයෙන් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් වගකීමෙන් යුතුව කටයුතු කළයුතු බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කරනු ලැබුවේ අද (13) පෙරවරුවේ පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ජාතික ළමා සභා නිලවරණය හා නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගි වෙමිනි.

නව තාක්ෂණික දියුණුවත් සමඟ සමාජය විසින් දරුවන් පිළිබඳ දක්වන සැලකිල්ලෙහි යම් ඌනතාවයක් දක්නට ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා දරුවන් සුරක්ෂිත කරගැනීම සියලුදෙනාගේ වගකීමක් බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම තම දරුවන්ට දක්වන සැලකිල්ලම අනෙක් දරුවන්ට ද දැක්වීමෙන් සමස්ත දරු පරපුරේ ආරක්ෂාව තහවුරු වන බවද ජනාධිපතිතුමා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

සමාජයේ පවතින විවිධ ප‍්‍රශ්න සහ අභියෝගයන්ට මුහුණ දෙමින් ජීවිතය ජය ගතයුතු ආකාරය පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදි දරුවන්ව දැනුවත් කර සිටියේය.

මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමා අතින් ජාතික ළමා සභාවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම සිදුවූ අතර එහි වත්මන් සභාපතීත්වය දරන සිසුවා අතින් ජනාධිපතිතුමා වෙත ළමා සභාව පිහිටුවීමේ සන්නස් පත‍්‍රයද පිළිගැන්විණි.

අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක, ඇතුළු මැතිඇමතිවරුන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

4