ලසන්ත ඝාතනට ෆොන්සේකාගේ ආරක්ෂකයින්ගේ විස්තර දෙන්නැයි උසාවියෙන් හමුදාපතිට නියෝග..

ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුවූ කාලයේ හිටපු යුද හමුදාපතිවරයාවූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ආරක්‍ෂාවට සිටි කොමාන්ඩෝ භටයන්ගේ නාමලේඛනයක් සහ ඔවුන්ගේ විස්තර ඇතුළත් වාර්තාවක් කොමාන්ඩෝ රෙජිමේන්තුවේ වගකිවයුතු නිලධාරියකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මොහොමඞ් සහබ්දීන් මහතා ඊයේ (14* හමුදාපතිවරයාට නියෝග කළේය.ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්‍ෂණ රහස් පොලිසියේ නිලධාරීන් විසින් මෝසමක් මගින් ගල්කිස්ස අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කෙරිණි.

මෝසම ඊයේ (14* ගල්කිස්ස අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේ රහස් පොලිසිය කරුණු දක්වමින් මේ ඝාතනයට සම්බන්ධ විමර්ශන සඳහා කොහුවල හමුදා කඳවුරෙන් විස්තර ඉල්ලා ඇති නමුත් ඒවායෙන් කොටසක් පමණක් ලබාදී ඇති අතර ෆොන්සේකාගේ ආරක්‍ෂාවට සිටි කොමාන්ඩෝ භටයන්ගේ නාම ලේඛනයක් සහ විස්තර ඇතුළත් වාර්තාවක් කොමාන්ඩෝ රෙජිමේන්තුවේ වගකිවයුතු නිලධාරියකු මාර්ගයෙන් අධිකරණයට ලබාදෙන ලෙස හමුදාපතිට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

තවද ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලද කළුබෝවිල රෝහලේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් කුමාර මහතාට රහස් පොලිසිය දැනුම්දුන් පසු රහස් පොලිසිය වෙත පැමිණෙන ලෙස නියෝගයක් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම සියලූ ඉල්ලීම්වලට මහෙස්ත‍්‍රාත්වරයා විසින් නියෝග ලබා දී ඇත.

කෙසේ වෙතත් ලසන්ත ඝාතනයෙන් පසු දිගින් දිගටම ලිපි පල කරමින් සන්ඬේ ලීඩර් පුවත් පත විසින් චෝදනා කර සිටියේ ලසන්ත වික‍්‍ර‍මතුංග ඝාතනයට වගකිව යුත්තා වන්නේ එවකට හමුදාපති ධූරයේ සිටි සරත් ෆොන්සේකා බවයි. ඝාතනයට ලක්වන විට ලසන්ත වික‍්‍ර‍මතුංග මහතා සන්ඬේ ලීඩර් පුවත් පතේ කතෘවරයාද විය.

වත්මන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද එකල පාර්ලිමේන්තුව අමතමින් කෙලින්ම කියා සිටියේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ සරත් ෆොන්සේකා විසින් බවයි. එක්නැලිගොඩ අතුරුදන් කල බව පවසමින් හරි හැටි සාක්ෂියක් හෝ නැතිව බුද්ධි අංශ නිලධාරීන් රහස් පොලිසිය විසින් සිරගත කරද්දී ලසන්ත ඝාතන පරීක්ෂණ සිදුවන්නේ ඉතා උදාසීන ලෙස බවද පෙනෙන්නට ඇත.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ වන විට යහපාලන රජයේ ප‍්‍රාදේශීය සංවර්ධන ඇමතිවරයාද වේ.

 

5