මගේ මිනිය විකුණාගෙන කන්න ජවිපෙ හතරදෙනාගේ කල්ලියට ඉඩ දෙන්න එපා!

සිරි අයියාගේ අන්තිම කැමැත්ත: “මගේ මිනිය විකුණාගෙන කන්න ජවිපෙ හතරදෙනාගේ කල්ලියට ඉඩ දෙන්න එපා!”

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් පසුගිය බදාදා සවස පිටකෝට්ටේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පැවැතිවිණි. එම හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම තැඳවා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් ලබාදිය යුතු දායකත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටය.

මෙම හදිසි දේශපාලන මණ්ඩල රැස්වීමට පක්‍ෂ නායක විමල් වීරවංශ මහතා සහභාගී වූයේ ස්කයිප් තාක්‍ෂණය ඔස්සේය. ඒ ඔහු ඒ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිත පිරිසක් සමඟ ජපානයේ සංචාරයක නිරතව සිටි හෙයිනි.

“සිරි අයියා අපෙන් සදහටම සමුගත්තේ එයාගේ සේවය මේ රට තවදුරටත් ඉල්ලා සිටිය මොහොතකයි. මේ රටට අප්‍රමාණ විදියට ආදරය කරපු සිරි අයියා සැබෑ දේශප්‍රේමියකු බවත් බෙදුම්වාදී ජාතිවාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම සඳහා වූ මතවාදී අරගලය ජවිපෙ හරහා සමාජගත කළ උපාය මාර්ගික විශේෂඥයා ඔහු බවත් මම අපේ පක්‍ෂයේ ශෝක පණිවිඩයේ සඳහන් කළා. එය අපි අතින් ලියැවිය යුතුම දෙයක් කියලයි මම හිතන්නේ” විමල් වීරවංශ මහතා ප්‍රථමයෙන් පවසා සිටියේය.

“මම දේහය අවසන් කටයුතු සඳහා ගෙන එන ස්ථානයට ගියා. සිරි අයියාගේ අක්කාගේ නිවසටයි දේහය ගෙන එන්නේ. අවසන් කටයුතු ගෞරවාන්විතව සිදු කිරීමට අදාළව එහිදී ඥාතීන් හා ජනතා සේවක පක්‍ෂයේ සහෝදරවරු සමඟ සාකච්ඡා කළා. එම සාකච්ඡාවට අපි වගේම පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභික නන්දන ගුණතිලක, ඇතුළු සහෝදරවරුන්ද සහභාගී වුණා. අපි එහිදී ඥාතීන් සහ ජනතා සේවක පක්‍ෂය, ජාතික නිදහස් පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ආදී පක්‍ෂ ද ඇතුළත් අවමංගල්‍ය උත්සව සංවිධාන කමිටුවක් ද පිහිටුවා ගනු ලැබුවා. එමගින් තමයි බොරැල්ල කනත්තේදී 18 වැනිදා අවසන් කටයුතු සිදු කරන තෙක් සියලු කටයුතු මෙහෙයවන්නේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ කිසිවෙක් ඊට සහභාගී වූයේ නැහැ” ජානිපෙ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

“ඥාතීන්ගේ සහ සිරි අයියා අවසන් වරට නායකත්වය දැරූ පක්‍ෂයේ මූලිකත්වයෙන් අපි කවුරුත් එකතුව සිරි අයියාට අපේ විප්ලවීය ආචාරය පුද කිරීම තමයි මෙහිදී සිදු කළ යුත්තේ. සිරි අයියාට සැබෑ ලෙස ආදරය කළ සියලු දෙනාට ඔහුට අවසන් ගෞරවය දැක්වීමට අවශ්‍ය වටපිටාව අපි හදන්න ඕනේ. ඒක තමයි මේ මොහොතේ අපේ විප්ලවීය යුතුකම වියයුත්තේ” විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

“නමුත් මෙහිදී කණගාටුවෙන් වුවත් මතක් කළ යුතු කතාවක් තිබෙනවා. මතු වූ ආර්ථික දුෂ්කරතා නිසා සිරි අයියාට, එතෙක් නේවාසිකව රැඳී සිටිමින් දේශපාලන කටයුතුවල නිරත වූ ඇතුල්කෝට්ටේ විහාර මාවතේ කාර්යාලයේ සිට ඔහුගේ මරණය සිදු වූ ඥාති සහෝදරයාගේ නිවෙස වෙත යාමට සිදු වෙලා තිබෙනවා. යතුරුපැදියකින්, තමන්ගේ පක්‍ෂයේ වගකිවයුතු සහෝදරයකු සමඟ වැස්සේ තෙමෙමින් තමයි ඒ ගමන සිරි අයියා ගොස් තිබෙන්නේ. ඒ යන අතරේ සිරි අයියා කවදාවත් නොකී කතාවක් ඒ සහෝදරයාට කියා තිබෙනවා. ‘මගේ මිනිය විකුණාගෙන කන්න ජවිපෙ හතරදෙනාගේ කල්ලියට ඉඩ දෙන්න එපාෟ” කියලයි සිරි අයියා කියා තිබෙන්නේ. මේ කතාව ඒ සහෝදරයා අපටත්, ඥාතීන්ටත් පවසා තිබුණා. ඒ නිසා ඥාතීන් වගේම ජනතා සේවක පක්‍ෂයේ සහෝදරවරුත් ඒ ‘ජවිපෙ හතර දෙනාගේ කල්ලිය’ අවමංගල්‍ය උත්සව සංවිධාන කටයුතුවලට සහභාගී වෙනවාට කැමැත්තක් නැහැ. ඒ හැර අවසන් ගෞරවය දැක්වීමට කිසිවකුට කිසිදු ආකාරයක බාධාවක් සිදුවන්නේ නැහැ. ” ජානිපෙ ජාතික සංවිධායක. හිටපු අමාත්‍ය පියසිරි විජේනායක මහතා ඉතාමත් හඟුම්බර ලෙස පවසා සිටියේය.

සෝමවංශ අමරසිංහ මහතාගේ ඉහත කී අන්තිම කැමැත්තට යටත්ව අවමංගල්‍ය උත්සව සංවිධාන කමිටුව නියෝජනය කරමින් ඔහුට ලබාදිය හැකි ප්‍රශස්තම අවසන් ගෞරවය අත්කර දීමට මැදිහත් වීමට ජානිපෙ දේශපාලන මණ්ඩලය තීරණය කළහ.

x

අබර
2016.06.16