මගේ රූපයේ රහස ආධ්‍යාත්මිකව ලැබූ දියුණුවයි

ඔබේ “ලස්සන රහස්” ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට කියන්න කැමතිද?
ලස්සන කියන දේ හැමෝම ළඟ තියෙනව.ඒ ලස්සන වැඩිදියුණු කරගැනීම තමයි වැදගත්. අපි හැමෝම ස්වභාවධර්මයාගෙ දරුවොනෙ. ස්වභාව ධර්මයට කිට්ටු වෙන තරමට ලස්සන වැඩි දියුණු වෙනව. ඒ වගේම බාහිරව වගේම අභ්‍යන්තරවත් ලස්සන වීම හරිම වැදගත්.
අභ්‍යන්තර ලස්සන වීම කිවුවෙ?
මම ගොඩක් භාවනා කරන කෙනෙක්.  ඉරිසියාව, ක්‍රෝධය, වෛරය මගේ හිතින් තුරන් කිරීමෙනුත් අභ්‍යන්තර ලස්සන වැඩි දියුණු කරගත්තු, කෙනෙක්.
ඔබ බාහිර සුන්දරත්වය පවත්වාගන්නෙ කොහොමද?
ස්වභාව ධර්මය අපට අවශ්‍ය හැමදේම දීලා තියෙන්නේ. වාතය, ජලය, හිරු එළිය, ආහාර පාන, හැමදෙයක්ම වගේ දීලා තියෙන්නේ. මම ගොඩක්ම දේශීයත්වය, ස්වාභාවිකත්වය අගය කරන කෙනෙක් මගේ සුන්දරත්වය පවත්වා ගන්න මම හැම විටම යොදා ගන්නෙ ස්වභාවික ආ‍ලේපන, ස්වභාවික ආහාර පාන
මොනවාද ඒ විශේෂ ආහාර පාන?
මම තෙල් කෑම,
ක්ෂණික කෑම බිම වර්ග, සොසේජස් කුකුල්මස් කන්නෙම නෑ. චීස් කිරි වගේ දේවලුත් ඉඳල හිටල කන්නෙ බොන්නෙ. පිටි කෑම, පාන් කන්නෙ නෑ. කුරක්කන් රොටී සුප් වර්ග තමයි ගොඩක් වෙලාවට කන්නෙ බොන්නෙ.
ලස්සන වීම සඳහා ඔබටම විශේෂ ආහාර රටාවක් තියෙනවාද?
ඔව්. උදේට මම බිත්තර සුදු මද තුනක් හතරක් එක්ක බ්‍රවුන් බ්‍රෙඩ් පෙත්තක් රතු නූඩ්ල්ස්, හැඳි දෙකක්, විතරයි කන්නෙ. ඉස්සර නම් කිරිතේ, නෙස්ටමෝල්ට් බිව්ව. දැන් නම් වතුර විතරයි. දවල්ට නම් වැඩිපුර එළවළු එක්ක බත් යෝගට් කෝප්පයක් මාළු කෑලි දෙක තුනක් කනවා. රෑට නම් ගොඩක් වෙලාවට කන්නෙම නෑ. කෑවත් හත වෙද්දි එළවළු ටිකක් තම්බලා ආටා රොටියක් එක්ක කනවා. නැත්නම් හතු පැකට් එකක් අම්ම හදනව ඒකත් නැත්නම් පලතුරු වර්ගයක් කනව.
ඔබේ සිරුර හැඩ කාරයි වගෙම සමත් හරිම පැහැපත් ඒ සඳහා විශේෂ ප්‍රතිකාර ක්‍රම භාවිත කරනවද?
කිසිම ප්‍රතිකාර ක්‍රමයක් නෑ. බාහිර ආ‍ලේපන කිසිම දෙයක් මම පාවිච්චි කරන්නෙ නෑ. කවදාවත් සැලෝන් එකක ෆේෂල් එකක් කරල නෑ. මූණෙ සබන් නම් ගාන්නෙ නෑ. ක්ලෙන්සර් එකක් හැටියට යෝගට් සහ මී පැණි පාවිච්චි කරනව. පැක් එකක් හැටියට මුදවපු කිරි, අලිගැටපේර, එකතු කරල මමම හදාගන්නව. හැම විටම ස්වභාවික නැවුම් පලතුරු පාවිච්චි කරනව. ගොඩාක් වතුර බොනවා. විනාඩි 10න් 10ට වගේ මට වතුර ඕනි. කෑම වගේම බිමත් වැදගත්නෙ. දේශීය පාන වර්ග ගොඩාක් පානය කරනව. රණවරා ‍පොල් පලා, බෙලිමල්, දිනපතාම ගන්නව. ග්‍රීන්ටී වේල් තුනක් නොවරදවාම බොනවා. අරළු, බුළු, නෙල්ලි, ශාක සාර සහිත ත්‍රිපලා පාවිච්චි කරනව.
ඔබේ දීප්තිමත් කේ‍ර්ල් කොණ්ඩයෙ රහස කියන්න කැමතිද?
ඇත්තටම මම කවදාවත් කොණ්ඩයට වද දෙන්නෙ නෑ. මේ මගේ උපතින්ම හිමිවුණ ස්වභාවික කේ‍ර්ල් එක. තෝරාගත් සැලෝන් එකකින් මම මාසෙකට දෙපාරක් ෂැම්පු කරලා කන්ඩිෂනර් කරනව. ඒවට ගන්නෙත් ස්වභාවික ශාක සාර ගොඩපර, බිත්තර, කරපිංචා, උළු හාල්, එකතු කරල හදාගත්තු, ස්වභාවික ආයුර්වේද ෂැම්පු එකක්.
මානසික සුවය රූපයට බලපාන ආකාරය ඔබට අදාළව විග්‍රහ කරන්නේ කොහොමද?
රූපය ආරක්ෂා වීමට බලපාන තවත් ප්‍රධානම දෙයක් තමයි මනස. මනස නිරවුල් නම් රූපය වර්ධනය වෙනවා. ඒ වගේම තමයි ආගමට සහ ස්වභාවධර්මයට ලැදි වීම අපි හිතන පතන දේ ස්වභාවධර්මයට හොඳින්ම වැටහෙනව. හිත හොඳ මනුස්සයෙක් නෙවේ නම් ඒකත් සොබා දහමට තේරෙනව. කාරුණික මානුෂික, ආදරණීය කෙනෙක් නම් එයාගෙ වටේ බිහිවෙන්නෙ ආදරණීය රැස් මාලාවක් අධ්‍යාත්මික ලස්සන ඉස්මතු වෙලා තමන්ගෙ ලස්සන දෙගුණ තෙගුණ වෙලා පේන්නේ එතකොට. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය ස්වභාවිකව ලස්සන නැති කරනව. මම ගොඩාක් අධ්‍යාත්මික දියුණුව ඇති කරගත්තු කෙනෙක්. මගේ මානසික සුවය මගේ බාහිර පෙනුම පෙන්වනව. ඔයාට මාව ලස්සනට පේනව නම් මගේ “ලස්සන රහස” ඒකම තමයි.

t
අනූපමා ඉ‍ලේපෙරුම
ඡායාරූපය – නීල් කරුණාරත්න