ප්‍රසිද්ධියට පත් වීමේ රහස සැඟව ඇත්තේ ජානවලද?

පෘථිවිය මත මිනිස්සු බිලියන 07ක් පමණ ජීවත් වෙති. ඒ අතරින් ලොව සියලු දෙනා දන්නේ ද, දැන සිටින්නේ ද අතලොස්සක් පමණ වූ මිනිසුන් ගැනය. මේ ලෝකයේ ජාත්‍යන්තර වශයෙන් ඔබ දන්නා, ජීවත් වූ (ආදී හෝ වර්තමානයේ) සහ ජීවත් වන මිනිසුන්ගේ නාම ‍ලේඛනයක් ලියන ලෙස ඉල්ලා සිටිමි. මේ මිනිසුන් ගැන කතා කිරීමටත් අනෙක් මිනිසුන් යටපත්ව යාමටත් හේතුව කුමක්ද..? මේ වෙනස ඇති කරනුයේ කවර සාධකයක් නිසාද..?
විද්‍යාඥයෝ මෙම සුවිශේෂී සාධකය Charisma factor (X factor) ලෙස පෙන්වා දෙති. නෙල්සන් මැන්ඩෙලා, රිචර්ඩ් බ්‍රැන්සන් මෙන්ම අවුන් සාන් සුකී තුළද මේ සුවිශේෂී ගුණය පවතියි. ඇපල් පරිගණකය නිර්මාණය කළ ස්ටීව් ජොබ්ස් මෙන්ම ඇමෙරිකානු ජනාධිපති වූ බැරැක් ඔබාමාට මේ සුවිශේෂී සාධකය තිබිය යුතුය. මෙම ආශිර්වාදාත්මක බලයේ සාධකය හෙවත් කැරිස්මා  එක්ස් යනු මිනිසුන් ලෙස අපට පරිණාමයෙන් උරුම වූ මහත් වූ ත්‍යාගය බව විද්‍යාඥ මතයයි. මෙම X Factor හෙවත් Charisma factor යනු කුමක්ද..? එය අපට උරුම වන්නේ කෙසේද..? මේ පිළිබඳ පැහැදිලි විද්‍යාත්මක නිර්වචනයක් මතෛක් සොයා ගෙන නැත. එය ලෝකයේ ජනප්‍රිය හා ආකර්ෂණීය පුද්ගලයන් සතුව පවතින කිසියම් ජානමය, ජීව විද්‍යාත්මක හෝ මානසික සාධයක් විය හැකි බවද, සමහර විටෙක එයටම පුද්ගලයා ජීවත්වන පාරිසරික සාධක බලපෑ හැකි බවද අනුමානය කෙරේ.
ලොව පුරා තැනින් තැන සිදුවන දේශපාලන, සමාජ ආර්ථික නැගිටීම්වලදී ඊට පෙරමුණ ගන්නා පුද්ගලයින් සම්බන්ධව විමර්ශනාත්මක සොයා බැලීමේ දී මෙම ආකර්ෂණීය බවේ සාධකය ක්‍රියාත්මක වන බව පෙනී යයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ යේල් සරසවියේ ඉතිහාසය පිළිබඳ ජෝශප් රොඩ් සඳහන් කරන්නේ දේශපාලකයින්ට පමණක් නොව කලාකරුවන්ට ආකර්ෂණීය ලෙස රඟපෑමට ද මෙය වැදගත් බවයි. එසේම රාජ්‍ය නායකයකු වීමට පමණක් නොව, සමාජ සංවිධානයක හෝ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක ප්‍රධානියකු වන විටද මෙය ඉතා වැදගත් වෙයි.
මේ අනුව සියලුම පුද්ගලයින්ට නොමැති මෙම සාධකය ඉස්මතු වීම කෙරෙහි ජානමය පදනම ඉතා වැදගත් බව විද්‍යාඥ මතයි. කුඩා දරුවන් සම්බන්ධව අවධානය යොමු කිරීමේදී මෙම සාධකය සහිත දරුවන් පහසුවෙන් හඳුනා ගත හැකි බව ඔවුන්ගේ අදහසයි. දෙමාපියන්ගේ ආදරය වහා දිනාගන්නා අනෙක් දරුවන් අතර ජනප්‍රිය වන කුඩා දරුවන් මෙම X සාධකය දරන්නෝය. එහෙත් ජානමය පදනම පමණක් නොව තමන් තුළින් මතුවන ස්වයං ආත්ම විශ්වාසය ද මේ සමග පැවැතිය යුතුය.
බ්‍රිතාන්‍යයේ ආන්දෝලනාත්මක රාජකීය චරිතයක් වූ ඩයනා කුමරිය ද මේ X සාධකය දැරූ තැනැත්තියක ලෙස විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. රෝචි පවසන්නේ ඇතැම් පුද්ගලයින් මෙම  X  සාධකය සමගම උපත ලබන බවයි. ඉන් පසුව පරිසර සාධක මත වෙනස් වන බවයි. නගරයේ මුඩුක්කුවක උපදින ඔ සාධකය සහිත පුද්ගලයකු මැර පාතාල නායකයකු වන අතර නගරයේ ගුරුවරුන් දෙදෙනකුට දාව යහපත් පරිසරයක උපදින  X සාධකය දරන පුද්ගලයකු ඇමැතිවරයකු හෝ ජනාධිපතිවරයකු විය හැක. වෙනස ඇත්තේ පරිසරය සමගය. X සාධකය දරන ඇතැම් පුද්ගලයින් එම සාධකය ඉස්මතු කර ගැනීමට පවතින විවිධ බාධා නිසා මේවා යටපත් වීයයි. නිදසුනක් වශයෙන් දේශපාලනයේ දක්ෂතා දක්වන තරුණ නායකයකු බිරිඳගේ හෝ දරුන්ගේ ඉල්ලීම හෝ තමාගේ වෙනත් වෘත්තීයක අවශ්‍යතා නිසා දේශපාලනයට නොපැමිණි සිටීම සිදුවිය හැකිය.
මෙම සාධකය සම්බන්ධව වසර තිහකට ආසන්න කාලයක් පර්යේෂණ කළ කැලිෆෝනියා මැන්කෙනා සරසවියේ මනෝ විද්‍යාඥ රොනල්ට් පවසන්නේ X සාධකය ක්‍රියාත්මක වීමට ප්‍රධාන දර්ශක හයක් පමණ සක්‍රීය විය යුතු බවයි.
ඉන් පළමු වැන්න හැඟීම්බර ලෙස අදහස් ප්‍රකාශ කිරීමයි. දෙවැන්න ධෛර්යවන්ත භාවයයි. තෙවැන්න ව්‍යක්තභාවයයි. ඊළඟ සාධකය ආත්ම විශ්වාසය. පස්වන කරුණු ඉදිරි දැකීමය. අවසාන සාධකය පුද්ගලයින්ගේ වගකීම දරා ගැනීමේ හැකියාවයි. මේ සියලු සාධක සමබරතාවකින් පවතින්නේ නම් පුද්ගලයාට තම x සාධකය ප්‍රයෝජනයට ගත හැකිය. යමෙකු සාම්ප්‍රදායික මතවාද අභිබවා යාම ද අවදානමක් දරාගෙන ඉදිරියට යෑමද ඉතා වැදගත්ය. සමාජය තුළ විප්ලව කරන්නේ ද කැරලිගසන්නේද මෙවැනි නායකයින්ය. පිදෙල් කස්තේ‍රා්, අර්නස්ට්  චේ ගවේරා ආදී පුද්ගලයන් මෙයට නිදසුන්ය.
මෙම සාධක පුරුදු පුහුණුවෙන් වැඩි දියුණු කරගත හැකිය. නිදසුන් වශයෙන් ව්‍යාක්ත භාවය දැක්විය හැකිය. ධෛර්යවන්ත භාවයද උත්සාහයෙන් වැඩි දියුණු කළ හැකිය. අනෙකාට ගෞරව දක්වන ආකාරය ඉගෙන ගත හැකිය. අවස්ථානෝචිතව හැඟීම් ප්‍රකාශ කරන අන්දම ගැන ද පුරුදු විය හැකිය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ බොහෝ ජනාධිපතිවරුන් ජනතා ආකර්ෂණයට ප්‍රධාන වශයෙන්ම යොදා ගන්නේ ආකර්ෂණීය වචන මාලාවන්ය. ඔවුහු ජනතාව කෙරෙහි ආදරය, කරුණාව, ආශාව, මෙන්ම ඔවුන්ගේ දුක් ගැහැට ගැන ප්‍රකාශ කළහ. ප්‍රථම අභ්‍යවකාශ යානය ගුවන් ගත කරමින් ජෝන් එෆ්.කෙනඩි කළ “Not because it’s easy, but because its hard’  වැනි ප්‍රකාශ මෙන්ම 9/11 ප්‍රහාරය සිදු වූ වෙලාවේ ජෝජ් බුෂ් ඇමෙරිකාවේ නැගීසිටීම ගැන කළ ප්‍රකාශ තවමත් එරට ජනතාව අතර රැව් පිළිරැව් දෙයි.
ජනතාවට දැනෙන ලෙස ආමන්ත්‍රණය කළ හැකි නායකයින් ජනතාවගේ නිදා සිටින උපවිඥාන අවදි කරයි. ඔවුන්ට ආවේණික වූ ශාරිරීක අංග චලන  (body language)  පවතියි. ඔවුන් නිතරම ක්‍රියාශීලීය. වැඩක් නැති වෙලාවක් නොමැත. ඔවුන්ගේ කතාව ගංගාවක් මෙන් ගලා යයි. එහි නැවතුමක් නොමැත. නොදැනුවත්වම අනෙක් පුද්ගලයින්ට මේ පුද්ගලයා අනෙකෙකුට වඩා සුවිශේෂ බව පෙන්වන කතා විලාසයක් පවතියි.
මෙවැනි ආකර්ෂණීය ගමනක් පරිණාමීය වශයෙන් ඉතා වැදගත් වී ඇත. එකවර සමාජ සංවිධාන ගොඩනැගීමට මෙය ඉවහල් වී ඇත. සමාජය තුළ සංස්කෘතියක් බිහිවීමට ද මෙය ඉවහල් වෙයි.
රැඩ්කල් වාදී විප්ලවාදී අදහස් දරන ලද ඇපල් පරිගණක නිර්මාතෘ ස්ටීව් ජෝබ්ස් මෙන්ම මාග්‍රට් තැචර්, ඇඩෝල්ෆ් හිට්ලර්, ජෝසප් ස්ටාලින් ආදීන් මෙම X සාධකයෙන් හොඳ හැටි වැඩගත් පුද්ගලයෝය.
කෙසේ වුවත් මෙම  සාධකය දරන ඇතැම් පුද්ගලයින් අඩු කාලයක දී ඉහළට යන නමුත් මේ තත්ත්වය දිගටම පවත්වා ගැනීමට අසමත්වන අවස්ථා වර්තමානයේ දී සුලභය. මහා පරිමාණ ව්‍යාපාර අරඹන තරුණයන් අඩු කාලයක දී විශාල ලාභ ලබා නැවත අඩු කාලයක දී ව්‍යාපාර කඩා වැටීමට මුහුණ දෙන්නේ මේ නිසාය. මේ නිසා ආකර්ෂණීය බවෙහි සාධක දිගින් දිගටම පවත්වාගෙන යාමට ඔවුනට පෞරුෂත්වයක් ලබා දිය යුතුය.
X සාධකය ඉතා හොඳින් පවතින ඇතැම් පුද්ගලයින්ගේ පරිපාලනය පෞරුෂ දුර්වලතා නිසා බිඳවැටෙන අවස්ථා ද පවතියි. ටෝනි බ්ලෙයාර් සහ බිල් ක්ලින්ටන් මෙයට නිදසුන් දෙකකි. ඇතැම් දේශපාලන හා පෞද්ගලික දුර්වලතා නිසා ඔවුහු අප්‍රසාදයට පත් වූහ. මේ ආකාරයට අනෙකුත් නායකයින් දිගින් දිගටම ජයගන්නා අතර, තවත් සමහර නායකයින් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට පත් වන්නේද ඇතැමුන් ජාතික වශයෙන් ප්‍රතික්ෂේප වන්නේ ද යුද බිමේ දී කලාවේ  හෝ ක්‍රීඩාවේදී හෝ දක්ෂයින් දේශපාලනයේ දී අප්‍රසාදයට පත්වන්නේ ද මේ X සාධකය නිසි ලෙස භාවිත නොකිරීම හෝ වැරදි භාවිතාව නිසා යැයි අනුමාන කෙරේ.

3

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව
(නිව් සයන්ටිස්ට් ඇසුරෙනි)