යුරෝපයේ එකම බෞද්ධ රාජ්‍යය කල්මිකියාව

ආධ්‍යාත්මික නායකයා වන්නේ දලයිලාමා

පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් කල්මිකියා ජනරජය (The Republic of Kalmykia) යුරෝපයේ පිහිටි එකම බෞද්ධ රාජ්‍යයයි. තුර්කි භාෂාවෙන් “කල්මිකි” (Kalmyk) වචනයේ අර්ථය “අවශේෂ” (Remnant) යන්නයි. මෙම “අවශේෂ” යන වචනයට මනා අර්ථයක් සපයමින් ඉතිහාසයේ දෙවරක්ම පිටුවහල් කිරීමට ලක්වී වුවද තම අනන්‍යතාවය පවත්වා ගැනීමට කල්මිකියානුවන් දක්ෂ වූ බව කිව යුතුය.
කල්මිකියාව රුසියානු සමූහාණ්ඩුවට අයත් ජනරජ 21න් එකක් වන අතර ආසන්න වශයෙන් 300,000ක ජනගහනයකින් සමන්විත වේ. (292,410-වර්ෂ 2010) වර්ග කි.මීටරයට 3,84ක් තරම් කුඩා අගයක් ගනී. වර්ග කි.මී. 65,610ක් වන ශ්‍රී ලංකාවේ ජනගහනය 21,000,000කට වැඩිවන අතර එහි
ජන ඝනත්වය වර්ග කි.මීටරයට 308,4ක් වැනි ඉහළ අගයක් ගැනීමෙන් කල්මිකියාවේ ඇති අඩු ජන ඝනත්වය පිළිබඳව මනා වැටහීමක් ලබාගත හැකිය.
කල්මිකියානු ජනාධිපතිවරයා රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා විසින් නම් කරන අතර කල්මිකියානු පාර්ලිමේන්තුවේ අනුමැතියත් සමග පත්කිරීම සිදු කෙරේ. වත්මන් ජනාධිපතිවරයා ලෙස ඇලෙක්සි ඔර්ලෝව් මහතා කටයුතු කරන අතර 2010 ඔක්තෝබර් දක්වා මෙහි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කිර්සාන් ඉලුම්ෂිනෝව් (Kirsan Ilyumzhinov) ජනරජයේ හිටපු ජනාධිපතිවරයාය. ලෝක චෙස් සංවිධානයේ සභාපතිවරයාද වේ. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ 2600 සම්බුද්ධ ජයන්ති වැඩසටහන්වලට සහභාගි වීම විශේෂත්වයක් වේ.
විශාල තෘණ බිම් කාන්තාර ප්‍රදේශවලින් සමන්විත කල්මිකියාවේ නැගෙනහිර කොටසක් හරහා ගලා යන සුප්‍රසිද්ධ වොල්ගා කුමා සහ මැනිව් ගංගාවන් මෙහි ප්‍රධාන ජල මාර්ගයෝය. ගිනිකොන දෙසින් කැස්පියන් මුහුදට මායිම්ව පිහිටි සුන්දර වෙරළ තීරයකට සහ මහා පරිමාණයේ විල් 04කින් සමන්විත කල්මිකියාව දකුණෙන් ඩජෙස්තාන් සමූහාණ්ඩුවටද (Republic of Dageatan) මායිම් වේ.
ඔයිරට්ස් (Oriats) ලෙස හඳුන්වන ආදි කල්මිකියානුවරු වන ගෝත්‍රිකයන් එදිනෙදා භාවිතා කළ ආම්පන්න, භාෂාව  හා ආගම මොංගෝලියානු සම්භවයක් සහිතය. මෙම ඔයිරස්ට්වරුන්, බටහිර මොංගෝලියාව ඔස්සේ දකුණු සයිබිරියාවේ ස්ටෙප්ස් තණ බිම්වලින් සංක්‍රමණය වී 1618දී ඉහළ අර්ටිෂ් (Irtysh) ගංගා කලාපයේ සිට සැරටොවු හා කැස්පියන් මුහුදට උතුරින් වූ වොල්ගා නදී පහළ කලාපයේ වූ තෘණ බිම්වල ජනාවාස ඇතිකර ගත්හ.
එ¾ෙඩ්රවරුන් වූ ඔවුන්ගේ සතුන් සඳහා වෙනම අලුත් තණ බිම් සොයා 16 වන සියවස අග භාගයේදී මෙම සංක්‍රමණයන් සිදු වූ බව වඩාත් පිළිගත් මතයයි. මුලදී මෙම තණ බිම් තුර්කි භාෂාව කතා කරන නොගායිස් (Nogasis)  ගෝත්‍රිකයන්ගේ නිජබිම විය.
ඔයිරයිට්ස් ගෝත්‍රිකයන් සංක්‍රමණය සමග සුළුතර නොගායිස් ගෝත්‍රිකයන් රුසියානු රාජාණ්ඩුවේ ආරක්ෂාව පැතු අතර 17 වන සියවසේ දෙවන භාගයේ ඔයිරයිට්ස් ගෝත්‍රිකයන් කල්මයික හනාටේ (Kalmyk Khanate) යටතේ මොංගෝලියානු භාෂාව කතා කරන නව කල්මිකි ජනවර්ගයක් ලෙස උතුරෙන් වූ සැරටොවු සහ වොල්ගා ඩෙල්ටාවේ අස්ට්‍රාකාන් දකුණු ප්‍රදේශය දක්වා ජනපද ඇති කර ගන්නා ලදී. පසුව වොල්ගා මෙන්ම එබා (Emba) ගංගා ඉවුරු දෙපස මෙන්ම දොන් (Don) සහ යුරල් (උපචත) නදියේ නැගෙනහිර දක්වාද මේවායේ ව්‍යාප්ත වීම සිදුවිය. මෙම ප්‍රදේශ ප්‍රකාශිත රුසියානු රාජ්‍යයට අයත්ව තිබුණද රුසියානු ජනපදිකයන් එහි පදිංචි කරවීමට අපහසු වූයේ කල්මිකියානු පාලනය යටතේ ප්‍රබල “කල්මයික් හනාටේ” දේශයට ඒවා අයත්ව තිබිමයි.
මේ අනුව ක්‍රමිකව සිදු වූ කල්මිකියානු ස්වාධිපත්‍යයත් සමග 17 වන 18 වන වර්ෂවලදී 40 දහසක අශ්වාරෝහක භට පිරිසක් සැපයීමෙන් රුසියානු යුද ව්‍යාපාරය සඳහා සක්‍රියව දායක විය. රුසියානු සමූහාණ්ඩුවේ නිරිත දිග දේශ සීමාව ආරක්ෂා කරගනිමින් කල්මිකියානු රාජ්‍ය ලෙස අඛණ්ඩව තම ස්ථාවරය පවත්වා ගැනීමට ඔවුන් සමත් විය. .
අයුකා කාන් (Ayuka Khan,-1669-1724) යටතේ කල්මිකියානු පුරවරය යුදමය හා දේශපාලන අතින් හිනිපෙත්තටම ළඟා වූ අතර රුසියානු දේශසීමාව ආරක්ෂා කර ගනිමින් අසල්වැසි තුර්කිය වැනි රාජ්‍යයන්ට එරෙහිව යුද ක්‍රියාමාර්ගයන්ද අනුගමනය කළේය. තවද රුසියානු දේශ සීමා නගරයන් මෙන්ම, චීනය ටිබෙටය හා අසල්වැසි රාජ්‍යයන් සමගද නිදහස් වෙළෙඳ කටයුතු සිදු කිරීමෙන් කල්මිකියාව ආර්ථික සශ්‍රීකත්වයක්ද ලබාගෙන තිබූ බව සඳහන් කළ යුතුය. මෙම කාල සීමාවේදී තම ඔයිරයිට් ගෝත්‍රයට අයත් ෂුන්ගේරියාව සහ ටිබෙටයේ දලයිලාමා සමගත් වඩාත් සමීප සබඳතාවක් පවත්වා ගන්නා ලදී.
පාලක අයුකා කාන්ගේ අභාවයෙන් පසු කල්මිකියානු පුරවරයේ සශ්‍රීකත්වය සාර් (Tsarist) රාජ්‍යයේ ප්‍රතිපත්ති හේතුවෙන් අභාවයට පත්විය. රුසියානු හා ජර්මානුවන්, කල්මිකියානු පහළ වොල්ගා කලාපයේ වූ තණ බිම් අත්පත් කරගැනීමත්, රුසියානු Orthadox පල්ලියේ බලපෑමෙන් Orthadox ප්‍රතිපත්ති අනුගමනයට ‍පොළඹවා ගැනීමත් සිදුවිය. 18 වන ශත වර්ෂයේ මැද භාගයේදී මෙම රුසියානු බලපෑමත් සමග, කාන් පෙළපතේ අන්තිමයා වූ උභාෂි කාන්ගේ තීරණය පරිදි ඔවුන්ගේ ආදි නිජබිම වූ ෂුන්ගේරියාවට සංක්‍රමණය වී බෝල්කාෂ් විල ආසන්නයේ වූ ෂින්ජියැන්හිි හි නැගෙනහිර අන්තයේ පදිංචි විය. මෙසේ 200,000 ක පමණ වූ කල්මිකියානුවන් මධ්‍යම ආසියානු කාන්තාරය හරහා ගමන් කිරීමේදී ආහාර ජල හිඟකම සතුරු ප්‍රහාර ආදී හේතුන් නිසා විපතට පත්විය. මේ අතර රුසියානු භූමියේ ඉතිරි වූ කල්මිකියානුවරුන් නැ‍පෝලියන් යුද්ධය (1812-1815), ක්‍රිමියානු යුද්ධය (1853-1856) ආදියටද එක්වූ බව සඳහන් කළ යුතුයි.
වී.අයි. ලෙනින් විසින් විප්ලවකාරී රතු හමුදාව වෙත සහය දෙන ලෙස 1919 කළ ඉල්ලීමට දැක්වූ යහපත් ප්‍රතිචාරයෙන් පසු කල්මිකියාවට ස්වයං පාලන අයිතිය ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස නීත්‍යනුකූලව විශාල භූමි භාගයක් ලබාදෙමින් 1935 ඔක්තෝබර් 22 වන දින සෝවියට් සමූහාණ්ඩුවේ ජන රජයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
1941 ජුනි 22 ජර්මානු හමුදාව විසින් සෝවියට් සමූහාණ්ඩුව ආක්‍රමණයෙන් පසු 1942 කල්මිකියාවේ අගනුවර වූ එලිස්ටාව යටත් කරගන්නා ලදී. පසුව කල්මිකියානුවන් ජර්මානු යුද ව්‍යාපාරය සඳහා යොදවා ගන්නා ලද අතර, ජර්මානු හමුදාව සමග දැක්වූ ඉහත කී සහයෝගිතාව හේතුවෙන් 1943 දෙසැම්බර් මාසයේ කල්මිකියානුවරුන්ම මධ්‍යම ආසියාවේ සහ සයිබිරියාවේ විවිධ ප්‍රදේශවලට පිටුවහල් කරන ලදී. නැවත 1957 සුපුරුදු ගම්බිම් කරා පැමිණීමට අවසර ලබාදීමත් සමග එම වර්ෂයේ ජූලි 29 වන දින නැවත සෝවියට් සමාජවාදී ජනරජය යටතේ ජනරජයක් ලෙස ප්‍රකාශ කරන ලදී. පසුව 1992 මාර්තු 31 වන දින රුසියානු සමූහාණ්ඩුවේ ස්වාධීන රාජ්‍යයක් ලෙස වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
වඩා දියුණු කෘෂිකාර්මික තාක්ෂණයක් සහිත කල්මිකියාව ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු නිෂ්පාදනයටද ආහාර සැකසීම,උපකරණ නිෂ්පාදනය, දැව සැකසීම හා මුද්‍රණ ශිල්පය ආදී කර්මාන්ත සඳහාද ප්‍රසිද්ධියක් උසුලයි.
ටිබෙට් සම්භවයක් සහිත යුරෝපයේ එකම බෞද්ධ රාජ්‍යය වන කල්මිකියාවේ ගෙලුග්පා (Gelugpa) නිකායට අයත් වන මහායාන බුදු දහමෙන් ‍පෝෂිත බොහෝ  විහාරස්ථාන දැකිය හැකිය.
14 වන දලෙයිලාමාතුමන් වන ටෙන්ෂියන් ජියාස්ටෝ (Tenzin Gyasto) ඔවුන්ගේ ආධ්‍යාත්මික නායකයා ලෙස පිළිගැනේ. දෙවන ලෝක යුද්ධයත් සමග ජර්මනිය ඇමරිකාව, ප්‍රංශය හා යුගොස්ලෝවියාව වැනි රටවලට සංක්‍රමණය වූ කල්මිකියානුවන් එම රටවල පිහිටුවා ගන්නා ලද ජනපද ආශ්‍රිතව බෞද්ධ විහාරස්ථානයන්ද ඉදි කළහ.
කල්මිකියාව ජනරජයේ ජාතික කොඩිය හා රාජ්‍ය ලාංඡනය නිර්මාණය වී ඇත්තේ බුදු දහම සංකේතවත් කරන නෙළුම් මල සහිතවයි.
කල්මිකියාව නිරිත දිග පුළුල් නිම්නයක පිහිටි  කුඩා ජනපදයක් ලෙස 1865 ආරම්භ වූ එළිස්ටව්වල කල්මිකියාවේ අග නගරය හා පරිපාලන කේන්ද්‍රස්ථානයද වේ. 1998 චෙස් ඔලිම්පියාඩ් තරගාවලියත් සමග ලොව ප්‍රසිද්ධියට පත්වූ එලිස්ටාව අඩු තදබදයක් සහිත මනරම් නගරයකි. නගරයේ නුදුරින් පිහිටි විශාල තණබිම් මෙහි ඕනෑම කෙනෙකුගේ  චිත්තාකර්ෂණයට ලක්වේ. එළිස්ටාවේ සිට  විශාල මොස්කව් නුවර දක්වා බස් රථයකින් ගමන් කිරීමට පැය 18ක පමණ කාලයක් ගත වේ. ද්විතීක හා තෘතීක විවිධ අධ්‍යයන ආයතන සහිත එළිස්ටාව කලාපයේ පිහිටි අධ්‍යයන කේන්ද්‍රස්ථානයද වේ.

21

(ව.අ. සරත් ලාල් කුමාර මොස්කව් සංචාරයෙන් පසු)