ලොව ලෙයින් නහවන ජාතිවාදි දේශපාලනය

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ ජෝ කොක්ස් (Jo Cox))ගේ ඝාතනය මේ වනවිට ජාත්‍යන්තර දේශපාලන කරළිය කැළඹූ සිදුවීමක් බවට පත්ව තිබෙන්නකි. මෙය බොහෝ දේශපාලන නිරීක්ෂකයින් සලකන්නේ හුදෙකලා සිද්ධියක් ලෙස නොව මේ වනවිට යුරෝපය, ඇමෙරිකාව ඇතුළු බටහිර කලාපය වෙලා ගනිමින් ඇති බියකරු දේශපාලන ව්‍යාකූලත්වයක තවත් නපුරු ප්‍රතිඵලයක්ද වශයෙනි.
ජෝ කොක්ස් ඝාතනය කරනු ඇසින් දුටු කෙනෙකු විසින් කරන ලද විස්තරයක් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය තුළින් ඉදිරිපත් කෙරිණි. ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින්නේ තෝමස් මයියර් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි. මන්ත්‍රීවරිය පුස්තකාල ගොඩනැගිල්ලක පැවැත්වීමට නියමිතව පැවැති ඡන්ද දායක හමුවක් සඳහා එමින් සිටියදී මයියර් ඇය වෙත පැමිණ පිහියකින් ඇන ඇය බිම ඇද වැටුණු පසු කිහිප වරක් වෙඩි තැබූ බව සඳහන් විය. ඒ අවස්ථාවේ ඔහුගේ මුවින්Britain First (සියල්ලට කලින් බ්‍රිතාන්‍යය) යන වදන් පිට වූ බවද අර සාක්ෂිකාරයා ප්‍රකාශ කර තිබේ. Britain First යනුවෙන් මේ වන විට බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන සංවිධානයක්ද පවතී. එය බොහෝ දුරට ජාතිකවාදී අදහස් දරණ සංවිධානයක් බවද පැවසේ. කලකට ඉහත ජෝ කොක්ස් මෙම සංවිධානය විවේචනය කරමින් එය ජාතිවාදී ෆැසිස්ට්වාදී සංවිධානයක් ලෙස නම් කළ බවද වාර්තා වෙයි.
සැකකාර තෝමස් මයියර් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ තවත් අමුතු දෙයක් සිදුව තිබේ. විනිසුරුවරයා ඔහුගේ නම තහවුරු කරගනු පිණිස විමසන ලද අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ තමාගේ නම ‘ද්‍රෝහීන්ට මරණය, බ්‍රිතාන්‍යයට නිදහස” බවයි. ඊට වඩා ඔහු කිසිවක් පවසා නැති බව සඳහන් වේ. මේ තත්ත්වය තුළ ඔහු බොහෝ දුරට ජාතිකවාදී / ජාතිවාදී අදහස් දරන්නකු බව සැක කළ හැකිය.
ජාතිකවාදී හෝ ජාතිවාදී අදහස් මේ වනවිට බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බව රහසක් නොවේ. ඊට පදනම සපයන එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අයිසිස් වැනි මුස්ලිම් අන්තවාදී සංවිධානවලින් එල්ල කෙරෙන තර්ජනයයි. එසේම මැදපෙරදිග රටවල ඇති සිවිල් යුද තත්ත්වයන් හේතුවෙන් ඒ රටවල සිට යුරෝපයට වැල නොකැඩී එන සරණාගතයින්ගේ ප්‍රශ්නය, බරපතළ ගැටලුවක් නිර්මාණය කර ඇත. ‍පොදුවේ යුරෝපයට බලපාන මෙම ප්‍රශ්නවලට අමතරව බ්‍රිතාන්‍යයට විශේෂයෙන් බලපාන ගැටලුවක්ද තිබේ. එනම් බ්‍රිතාන්‍යය වසර 23කට පසු යුරෝපා සංගමයෙන් කැඩී වෙන්වීම සම්බන්ධයෙන් ජනමත විචාරණයක් තව නොබෝ දිනකින් පවත්වන්නට සිටීමයි. ජෝ කොක්ස් මන්ත්‍රීවරියගේ ඝාතනය සම්බන්ධ කාරණය සලකා බැලිය යුතු වන්නේ මෙම පුළුල් සහ අර්බුදකාරී පසුබිමත තබමිනි.
ඉහත කී පසුබිම තුළ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල මේ වන විට ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක් ගොඩනැගෙමින් සහ ශක්තිමත් වෙමින් පවතින බව පෙනේ. විශේෂයෙන්ම මුස්ලිම් අන්තවාදී සංවිධාන වෙතින් එල්ල වන ප්‍රහාරයන් හේතුවෙන් මෙම රටවල මුස්ලිම් භීතිකාවක් සහ මුස්ලිම් විරෝධයක් හිස ඔසවමින් ඇති අතර ඒ නිසාම තම රටවල සහ ක්‍රිස්තියානි ආගමේ ආරක්ෂාව පිළිබඳ මතවාද පදනම් කරගත් ජාතිකවාදී සහ ජාතිවාදී රැල්ලක් සමාජය තුළ ශක්තිමත් වෙමින් සිටියි. අනෙක් අතට කවදත් මෙවැනි රටවල බලවත්ව පැවති (ජාතිකවාදී හෝ ජාතිවාදී අදහස් වලට විරුද්ධ) ලිබරල් මතධාරී කඳවුරද සිටියි. නමුත් ජාතිකවාදී / ජාතිවාදී කඳවුර වෙනදාට වඩා බලවත් වෙමින් සහ ජනප්‍රිය වෙමින් පැවතීම නිසා මේ වනවිට දේශපාලන වශයෙන් උණුසුමක්, ආතතියක්, ගැටුම්කාරී තත්ත්වයක් ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන්ගෙන ඇති බව පැහැදිලිව දක්නට ලැබෙන්නකි. ජෝ කොක්ස් මන්ත්‍රීවරිය ඝාතනය කළ බවට සැක කරන තෝමස් මයියර් පවසා ඇති වදන්වලට අනුව ඔහුද මෙම ජාතිකවාදී / ජාතිවාදී කඳවුරේ අදහස් නියෝජනය කරන කෙනෙකු ලෙසද පෙනී යන බව පැවැසිය හැකිය.
මුස්ලිම් අන්තවාදීන්ගෙන් එල්ල වන තර්ජනය එක අතකින් මෙම රටවල ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති කරන අතර අනෙක් අතට මුස්ලිම් සරණාගතයින් පිළිබඳ ප්‍රශ්නය නිසා ආර්ථික වශයෙන්ද, රැකියා වැනි ක්ෂේත්‍රවලද ගැටලු පැන නගින බවට අදහස් බලවත් වෙමින් තිබේ. මෙම රටවල වැසියන් සඳහා ඇති අවස්ථා මෙකී සරණාගතයින් විසින් අත්පත් කරගනු ඇතැයි යන මතය සහ බිය නිසා දේශීය ජනතාව තුළ මෙවැනි ආතතියක් ගොඩනැගී ඇති බව සඳහන් කළ හැකිය. මෙහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ පිටස්තර බලවේගවලින් සිය රටවල් ආරක්ෂා කරගත හැකි යැයි විශ්වාස කරන ජාතිකවාදී දේශපාලන කඳවුරක් ජනතාව අතර ජනප්‍රිය වෙමින් බලවත් වෙමින් ගොඩනැගෙන්නට පටන් ගැනීමයි. යුරෝපයේ පමණක් නොව ඇමෙරිකාව් ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි චරිතවල ජනප්‍රියත්වය පවා පිළිබිඹු කරන්නේ සමාජය තුළ තහවුරු වෙමින් ඇති මෙම තත්ත්වය බව රහසක් නොවේ. මෙහෙම ගියොත් තව නොබෝ දිනකින් බ්‍රිතාන්‍යයේ මහ ජාතිය මුස්ලිම් ජාතිකයින් වියහැකි බව පවසා සිටින උදවියද මේ වනවිට බ්‍රිතාන්‍යය තුළ නැතිව නොවේ.
ඝාතනයට ලක් වූ ජෝ කොක්ස් මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍යයට එන සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටි සහ ඔවුන් වෙනුවෙන් හඬක් නංවමින් මහත් උද්යෝගිමත්ව කටයුතු කළ ජනප්‍රිය නායිකාවක් බව පැවැසේ. එසේම ඇය සිවිල් යුද්ධ නිසා අසරණව සිටින මැදපෙරදිග මුස්ලිම් වැසියන් පිළිබඳවද විශාල අනුකම්පාවක් දැක්වූ චරිතයකි. මේ නිසා ඇය කෙරේ ඉහත කී මුස්ලිම් විරෝධී සහ ජාතිකවාදී කඳවුරේ අන්තවාදීන් තුළ කෝපයක් නැගෙමින් තිබෙන්නට ඇති බව බොහෝ දුරට විශ්වාස කළ හැකිය.
මෙම ගැටලුවලට අමතරව බ්‍රිතාන්‍යය තුළ මේ වනවිට වඩාත් උණුසුම් කාරණාව බවට පත්ව ඇත්තේ එරට යුරෝපා සංගමයෙන් වෙන් වීම සම්බන්ධයෙන් පැවැත්වීමට යන ජනමත විචාරණයයි. එය ලබන 23 වැනි දින පැවැත්වීමට නියමිතව ඇත.
බ්‍රිතාන්‍ය 1993 වසරේ යුරෝපා සංගමයේ නිල ආරම්භයේ සිටම එහි සාමාජිකයෙකි. නමුත් දැන් බ්‍රිතාන්‍යය තුළ ලොකුම ගැටුම බවට පත්ව ඇත්තේ එරට යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයැයි පවසන පිරිස සහ දිගටම යුරෝපා සංගමය තුළ සිටිය යුතු බව පවසන පිරිස අතර ගැටුමය. ඔවුන් අතර කරටකර සටනක් පවතින බවද ජාත්‍යන්තර මාධ්‍ය හරහා වාර්තා වෙයි. බ්‍රිතාන්‍ය අගමැතිවරයා වන ඩේවිඩ් කැමරන් පෙනී සිටින්නේ දෙවනුව කී යුරෝපා සංගමයේ රැඳී සිටීම අනුමත කරන කඳවුරටය. යම් විදියකින් ඔහු නියෝජනය කරන මතය ජනමත විචාරණයේදී පරාජය වුවහොත් ඔහුට තවදුරටත් අගමැති ධුරයේ කටයුතු කිරීමේ අවස්ථාව පවා අහිමි වෙයි. ඒ නිසා මෙය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ඉතාම තීරණාත්මක ජනමත විචාරණයක් ලෙසිනි සැලකෙන්නේ.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ තවදුරටත් රැඳී නොසිට ඉවත් විය යුතු බව කියන්නේ වැඩි වශයෙන්ම ඉහත කී ජාතිකවාදීන්ය. යුරෝපා සංගමයට අයත් රටවල් අතර පවතින්නේ ලිහිල් දේශසීමා ප්‍රතිපත්තියක් වන අතර මේ නිසා සරණාගතයින්ට ලෙහෙසියෙන් ඒවා හරහා සංක්‍රමණය විය හැකිය යන මතයද මොවුන්ගේ මෙම ස්ථාවරයට හේතුවකි. සිය රටවල දේශසීමා නීති දැඩි කළ යුතු බව මේ වනවිට බ්‍රිතාන්‍යය පමණක් නොව යුරෝපා සංගමයේ රටවල් රාශියක විවිධ පාර්ශ්ව පෙන්වා දී ඇති කාරණයක් බවට පත්ව තිබේ. නමුත් යුරෝපා සංගමය තුළ සිටිමින්ම දේශසීමා නීති දැඩි කිරීමේ හැකියාව අඩුය.
එසේම යුරෝපා සංගමය තුළ සිටීමෙන් ආර්ථික වශයෙන්ද බ්‍රිතාන්‍යයට ඉදිරියට වැඩි වාසියක් අත් නොවන බවද මෙම ජාතිකවාදීන්ගේ අදහස වී තිබේ. සංක්‍රමණිකයින් විශාල ලෙස බ්‍රිතාන්‍යයට පැමිණීම පවා රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය කරනු ඇති බව මොවුහු පෙන්වා දෙති. ඒ මෙම සරණාගතයින් නඩත්තු කිරීම සඳහා විශාල මුදල් සහ ජාතික සම්පත් ප්‍රමාණයක් වැය කරන්නට සිදුවීම නිසාවෙනි. එසේම යුරෝපා සංගමයෙන් වෙන් වුවහොත් බ්‍රිතාන්‍යයට ස්වාධීනව වෙනත් රටවල් සමග වෙළෙඳ ගනුදෙනුවලට ඇතුළත් වීමට හැකිවීම නිසාද එය ආර්ථික වශයෙන් වාසිදායක වනු ඇතැයි ඔවුහු තර්ක කරති. යුරෝපා සංගමයේ ඓතිහාසික කාර්යභාරය අවසන්ව ඇති බවට තර්ක කරන්නෝද වෙති.
නමුත් යුරෝපා සංගමය තුළ රැඳී සිටිය යුතු බව පවසන කඳවුර පවසන්නේ එම සංගමයේ සෑම රටක්ම ආර්ථික වශයෙන් වඩාත් දියුණු වනු ඇත්තේ එක්ව සිටිමින් අනේ‍යාන්‍ය වශයෙන් ආර්ථිකයන් ගොඩනගා ගැනීමෙන් බවයි. එසේම මේ ආකාරයෙන් රටවල් වෙන්වීමට ගියොත් ආරක්ෂාව අතින්ද යුරෝපා කලාපය දුර්වල වනු ඇති බවත් එය තම විරුද්ධවාදීන්ට වාසිදායක පසුබිමක් නිර්මාණය කරනු ඇති බවත් මොවුහු පෙන්වා දෙති. ඝාතනයට ලක්වූ ජෝ කොක්ස් මන්ත්‍රීවරිය පෙනී සිටියේ බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමය තුළ සිටිය යුතුය යන මතය වෙනුවෙනි.
මෙම සියලු කාරණා සලකා බැලීමේදී ඇයගේ ඝාතනය දේශපාලන හේතු මත සිදුවූවක් විය හැකිය යන්න මේ වනවිට බොහෝ දුරට අවධානයට ලක්ව තිබේ.
කෙසේ හෝ වේවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ ඝාතනයක් සිදුවන තත්ත්වයක් දක්වා දුරදිග ගොස් ඇති බව පෙනෙන මෙම උණුසුම් ගැටුම්කාරී තත්ත්වය ඉදිරියේදී කවර ආකාරයේ ගමන්මගක් ගනු ඇතිද යන්න ඉතා අවිනිශ්චිතය. 23 වැනිදා පැවැත්වෙන ජනමත විචාරණය ඒ පිළිබඳ කිසියම් අදහසක් ඇති කරගන්නට උදව්වක් සපයන අවස්ථාවක් වනු ඇති බව පමණක් මේ වනවිට පැවැසිය හැකිය.

ew

(කිත්සිරි මල්වත්ත)