නව ජාතික ප්‍රතිපත්තියක්

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා මව්පියන්ට දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පසුපස යාම වළක්වමින් නව ප්‍රතිපත්තිය හඳුන්වා දෙන බවයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධාන උත්සවයට එක්වෙමින් ඊයේ(23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනප්‍රියයැයි සම්මත පාසල්වල දකින දේ අන් සියලු පාසල්වල ඇති කිරීමට වත්මන් රජය සියලු කැපකීරිම් සිදු කරන බවයි.

රාජකීය විද්‍යාලයේ විශිෂ්ඨ කුසලතා දැක්වූ සිසුන් 35දෙනෙකු වෙත තිළිණ ප්‍රදානය සහ ගුරු භවතුන් 18 දෙනෙකුට සම්මාන සහතික ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් සිදු කෙරුණි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඇතුළු මැතිඇමතිවරුන් සහ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියේය.

r