මන්නා පිහියයි – ඩප්පියයි අරන් පාරට බැස්ස එදා චණ්ඩි

ඩප්පි ආනන්ද හා ඩප්පි රොබින්සන් ඒකාලයේ චණ්ඩින්ට ඩප්පි හැදු කෙරුමෝ……
ඒකාලයේ චණ්ඩින් දක්ෂ චීනඅඩිකාරයො….
මෙරට පාතාලයේ ආරම්භය හැටේ දශකය දක්වා තරම් ඈතට දිවයන ඉතිහාසයක් ඇත.
වර්තමානය වන විට පාතාලයේ නායකයින් හා ඔවුන්ගේ ගෝල බාලයන් නවීන පන්නයේ අවි ආයුධ හා විදේශීය නිෂ්පාදිත බෝම්බවලින් සන්නද්ධව සිටියත් එදා පාතාලය ආරම්භ වූ වකවානුවේ සන්නද්ධව සිට ඇත්තේ ඔවුන් විසින්ම සාදාගත් ඩප්පි කියන බෝම්බ මන්නා පිහි කඩු සහ කිණිසි වැනි ආයුධ වලින්ය.
ඩප්පියෙන් කඩු කිණිසි හා මන්නා පිහි වලින් ආරම්භ වූ මෙරට පාතාලය අතට නවීන පන්නයේ අවි ආයුධ ලැබීම දක්වා ආගමනය ඇතුළු දේශපාලනඥයින්ගේ ද සහය ආධාර උපකාර අඩු වැඩියෙන් ලැබී ඇති බව ප්‍රසිද්ධ රහසකි.
පාතාල ලෝකයේ කිරුළු පැළඳ සිටි නායකයින් සහ ඔවුන්ගේ ගෝල බාලයන් සමහර දේශපාලනඥයින්ගේ හුරතලුන් බවට පත් වෙමින් නවීන පන්නයේ අවි ආයුධ අත දරාගෙන දරුණු අපරාධ කළේ ජනතාව භීතියෙන් මුසපත් කරමින්ය.
පාතාලය හා දේශපාලනය අතර ඇති සම්බන්ධය වර්තමානය වන විට ගසට පොත්ත මෙන් දැඩිව බැඳී තිබුණත් පාතාලයේ ආරම්භක කාලයේ දේශපාලන සම්බන්ධතා තිබී නොමැති බව තතුදන්නෝ පවසති.
අවි ආයුධ වලින් සන්නද්ධව සමහර දේශපාලනඥයින් සමග තිබූ සමීප සම්බන්ධතා වලින්ද පිම්බී සිටියත් අවසානයේ බොහෝ පාතාල නායකයින් හා ඔවුන්ගේ ගෝල බාලයන් ජීවිතයෙන් සමුගත්තේ අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන ධර්මතාව සනාථ කරමිනි.
පාතාලයට සමහර දේශපාලනඥයින්ගේ සේම සමහර පොලිස් නිලධාරීන්ගේ ද නම් ඈඳී ඇති බව කියති.
මේ පොලිස් නිලධාරීන් පාතාලයෙන් නොයෙකුත් වරදාන වරප්‍රසාද ලබා ගත්තෝ වෙති.
පාතාල නායකයෙක් පොලිසියට පැමිණෙන විට ඔහුට සැලියුට් කර ඉඳ ගැනීමට තම අසුන පිරිනැමූ බව කියන පොලිස් ලොක්කෙක් ගැන කතාවක් අසන්න ලැබුණේ මීට දශක තුනකට පමණ ඉහතදීය.
පාතාලයේ ආරම්භය ගැන ඔහු දන්නා තොරතුරු කියන්ඩ දැන් මා අභිමුඛව සිටින්නේ විශ්‍රාමික බන්ධනාගාර නියාමකවරයෙක් වන ඩබ්ලිව්.ඒ.ඩී. විජේදාස මහතාය.
පාතාලයේ ආරම්භක ක්‍රියාකාරීන් ගැන මෙන්ම වර්තමාන පාතාල ක්‍රියාකාරිකයින් ගැනද විජේදාස මහතා බොහෝ කරුණු කාරණා දන්නා අයෙකි.
සිය ජීවිතයෙන් වැඩි හරියක් විජේදාස මහතා ගතකර ඇත්තේ දරුණු අපරාධකාරයින් හා පාතාලයින් අතරය.
ඒ වෙන කිසිවක් නිසා නොව ඔහුගේ රාජකාරි ස්වභාවය අනුවය.
1971 වසරේ අප්‍රේල් මස 18 වැනිදා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයට එක්වී  ඇති විජේදාස මහතා සේවයෙන් විශ්‍රාම ගෙන ඇත්තේ 2007 වසරේ පෙබරවාරි මස 24 වැනිදාය.
විජේදාස මහතා වසර 36ක සේවා අත්දැකීම් ඇති බන්ධනාගාර නිලධාරියෙකි.
කොළඹ හා ඒ අවට සිටි චණ්ඩින්ද ලෙස ප්‍රසිද්ධව සිටි පුද්ලයන් සිරගතව සිටියදී ඔවුන් හා කතා බහ කිරීමටද විජේදාස මහතාට අවස්ථාව සැලසී ඇත.
පාතාලය ගැන විජේදාස මහතාගේ මතකය මෙතැන් සිට පෙළගස්වන්නේ ඔහු හා කළ පිළිසඳරකින් පසුවය.
පාතාලය කියන නම පට බැඳීමට කලින් අපරාධකාරයින් මුලින්ම හඳුන්වා ඇත්තේ චණ්ඩින් ලෙසය. පාතාලය කියන නම කරලියට ආවේ පසුකාලීනවය.
කොළඹ නගරයේ චණ්ඩින්ගේ ක්‍රියාකාරකම් හැම එකක්ම වාගේ සිදු වූයේ කඩු පිහි හා කිණිසි වලින්ය.
මේවාට අමතරව කොළඹ චණ්ඩින් අත එදා බෝම්බ වර්ගයක්ද තිබී ඇතත් ඒවා විදේශීය නිෂ්පාදන ඒවා නොවීය.
මෙම බෝම්බ විශේෂය චණ්ඩින් විසින්ම නිපදවා ගත් ඒවා විය.
ඩප්පි යනුවෙන් හැඳින්වූ මෙම බෝම්බ විශේෂය අරක්කු බෝතල් මූඩි යොදා ගනිමින් සදා ගනී.
අරක්කු බෝතල් මූඩි වලට යම් පුපුරණ ද්‍රව්‍යයක් හා කුඩා යකඩ බෝල බහා ඒ මතින් ප්ලාස්ටර්වලින් අලවා ඩප්පි බෝම්බ විශේෂය සකස් කර ගෙන ඇත.
හිස් කිරි ටින්ද මේ සඳහා යොදා ගෙන තිබේ.
පාතාලයට අවශ්‍ය තරම් ඩප්පි බෝම්බ සෑදීමට එදා විශේෂඥයින් වී සිටියේ වනාතමුල්ලේ ආනන්ද හා මෝදර රොබින්සන් යන දෙදෙනාය.
මේ දෙදෙනගේ නම් වලට ඉදිරියෙන් ඩප්පි කියන නම පටබැඳි තිබී ඇත.
වනාතමුල්ලේ ඩප්පි ආනන්ද හා මෝදර ඩප්පි රොබින්සන් කිව්වොත් ඒකාලයේ ඔවුන් ගැන නොදන්නා කෙනෙක් නැත.
මොවුන් දෙදෙනා දැන් ජීවතුන් අතර නොමැත.
හම්බන්වැල්ලේ ඩාලින්, මුරුගවිලී, හැරී, හර්මන්, මදාවි සෝමේ, චොප්පේ, කරතේලිස්, පොඩිරාළහාමි හා සීමන් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් එදා සිටි මුල් පෙළේ චණ්ඩින් කිහිප දෙනෙකි.
කොළඹ ජින්තුපිටිය වීදියේ එදා සිට බල ආධිපත්‍ය පතුරුවාගෙන සිටි චණ්ඩි නායකයන් වූයේ තෝමස්, මර්සුක් සහ ජුලී යන තිදෙනාය.
කොන්ත්‍රාත් ක්‍රමයට මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මොවුන් තිදෙනා වරදකරුවන් වී හිර ගෙදරට ගිය පසු කතකු, නාගු සහ උත්තමාන් නමැති චණ්ඩින් තිදෙනා ඒ ප්‍රදේශයේ සිය අණසක පතුරුවාගෙන සිට ඇත.
ජින්තුපිටිය ප්‍රදේශයේ සිටි දරුණුතම චණ්ඩියා වී සිටියේ උත්තමාන් නැමැත්තාය.
උත්තමාන් නැමැත්තාගෙන් හා ඔහුගේ ගෝල බාලයන්ගෙන් ජින්තුපිටියේ ජනතාවට ඉමහත් පීඩා හිරිහැර කරදර ඇතිව තිබූ අතර මේ හිංසා පීඩා තරදුරටත් ඉවසා සිටීමට නොහැකි වූ නිසා තරුණයන් කණ්ඩායමක් ඔහුට හොඳ පාඩමක් ඉගැන්වීමට තීරණය කර ඇත.
තරුණ කණ්ඩායමක් උත්තමන් නැමැත්තාගේ නිවසට කඩාවැඳි ඔහුට ද පහර දී බඩු මුට්ටු වලටද පහර දී කුඩු පට්ටම් කර  නිවසද කඩා බිඳ දමා ඇත්තේ ආයේ චණ්ඩිකම් නොකරන්නටය.
කාලයක් තිස්සේ චණ්ඩි පාට් දමාගෙන ජින්තුපිටිය ප්‍රදේශයම බය කර ගෙන සිටි උත්තමන් නමැත්තා තරුණයන් පිරිසට බිය වී ප්‍රදේශය පමණක් නොව රට හැර දමා පලා ගොස් තිබිණි.
ප්‍රදේශයක් හොල්ලාගෙන සිටි මේ චණ්ඩියා පලා ගොස් තිබුණේ ඉන්දියාවටය. ආයෙත් කිසිම දවසක අපේ රටේ පස් පාගන්නවත් පැමිණ නැත.
හැටේ දශකයේ කොළඹ කොටසක් හොල්ලාගෙන සිටි චණ්ඩියෙක් සල්ලං වී ගියේ එසේය.
උත්තමන් නැමැත්තා රට හැර දමා පලා ගිය පසු ඔහුගේ ගෝලයන්ද ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
ඔවුහුද බියට පත් වී ගම් ප්‍රදේශ අතහැර දමා පලා ගියහ.
වර්තමානයේ පාතාලයට සම්බන්ධ වැඩි දෙනෙක් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම් වල නිරතව සිටියත් ඒකාලයේ කොළඹ රජකම් කළ චණ්ඩින්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය වී ඇත්තේ ගංජා හා අබිං විකිණීමය.
කොළඹ කොච්චිකඬේ ප්‍රදේශයේ ඒ කාලයේ සිටි අංක එකේ ගංජා ජාවාරම්කරුව සිට ඇත්තේ සෙල්ලයියා නැමැති චණ්ඩි කල්ලියක නායකයෙකි.
මහා පරිමාණයේ ගංජා ජාවාරම්වල නිරතව සිටි නිසා ඔහු ප්‍රසිද්ධියට පත්ව සිට ඇත්තේ ගංජා සෙල්ලයියා යන නමින්ය.
ගංජා සෙල්ලයියා නැමැත්තා පසු කාලයක වෙඩි ප්‍රහාරයකට ලක්ව මැරුම් කෑ අතර මේ ඝාතනයට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ කොච්චිකඬේ ප්‍රදේශයේම සිටි නෙල්සන් නමැති තවත් චණ්ඩියෙකි.
ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් හටගත් ආරවුලක් මෙම ගංජා සෙල්ලයියා නැමැත්තා වෙඩිතබා මරා දැමීමට හේතු වී ඇති බව කියති.
නාරහේන්පිට ප්‍රදේශයේද 60-70 දශක වල චණ්ඩින් බහුල වශයෙන් සිටි ප්‍රදේශයක් විය.
ඒකාලයේ කොළඹ හා ඒ අවට ප්‍රදේශ ගණනාවක රජකම් කළ චණ්ඩින්ගේ ගංජා හා අබිං ජාවාරම කිරීමට අමතරව ඒ ඔවුන් බල ආධිපත්‍ය පතුරුවාගෙන සිටි ඒ ඒ ප්‍රදේශවල ව්‍යාපාරිකයන් බිය වද්දා කප්පම් ගැනීම යම් යම් ආරවුල් විසඳා ඒ වෙනුවෙන් මුදල් ලබා ගැනීම සිදු කර ඇත.
කොළඹ හා ඒ අවට ප්‍රදේශ වල 60-70 දශකයේ සිටි චණ්ඩින්ගේ ප්‍රධාන සටන් කලාව වූයේ අතින් පයින් ගහ ගැනීමය.
චීන අඩි ශිල්පය මනාව ප්‍රගුණ කර සිටි චණ්ඩීන් පිරිසක් ද ඒ කාලයේ සිට ඇත.
චීන අඩි ශිල්පය දන්නා ඒ කාලයේ සිටි චණ්ඩින් අතරින් කිහිප දෙනෙක් අද ද ජීවතුන් අතර සිටිති.
චීන අඩි ශිල්පය දන්නා චණ්ඩියෙකුට ඒ ශිල්පය දන්නා ප්‍රතිවාදි කල්ලියක චණ්ඩියෙක් හමුවූ විට පැය ගණනක් වුවත් එක දිගට ගහ ගන්නා සිද්ධීන් ඒ කාලයේ සුලභ වී ඇත.
මේ ශිල්පය දන්නා චණ්ඩින් වැඩිපුරම සිට ඇත්තේ නරාහේන්පිට මහවත්ත ප්‍රදේශයේය.
මහවත්ත ප්‍රදේශයේ ඒ කාලයේ චණ්ඩින් කොපමණ සිටියාද කියනවා නම් සාමයට ළැදි ඒ ප්‍රදේශයේ සිටි ජනතාව අඩු මුදලට තම ඉඩකඩම් විකුණා දමා වෙනත් ප්‍රදේශ වල පදිංචියට පවා ගොස් තිබේ.
කිරුළපන පොල්හේන්ගොඩ 1970 වසරේ සිට චණ්ඩින්ගේ රජ දහනක් විය.
මේ ප්‍රදේශයේ චණ්ඩිකම් කර ඇත්තේ ඩැනී, මාක්ස් හා උක්කුවා නමැති අය හා ඔවුන්ගේ ගෝල බාලයන්ය.
තෙල් ටැංකි ග්‍රේෂන්, හැරල් ලක්ෂ්මන් කියන අය මෝදර ප්‍රදේශයේ ඒ කාලයේ සිටි චණ්ඩින්ගේ නායකයන්ව සිට ඇත.
පසු කාලයක මොවුන් සියලු දෙනාම වෙනත් චණ්ඩි කණ්ඩායම් අතින් ඝාතනය වී ඇත්තේ ඔවුනොවුන් අතර කාලාන්තරයක් මුළුල්ලේ පැවති ආරවුල් නිසාය.
අද ඉන්නා පාතාල නායකයෝ ඔවුන්ගේ ගෝලබාලයෝ ඉන්ටර්කූලර් ප්‍රාඩෝ හා හයිබි්‍රඩි වාහන වලින් ගමන් බිමන් ගියහ. එදා සිටි චණ්ඩි කල්ලි නායකයින් හා ඔවුන්ගේ ගෝල බාලයින් ගමන් බිමන් ගියේ පා පාදිවලින් හෝ පයින්ය.
ඔවුන් මොටර් බයිසිකලයකින් ගියේ කලාතුරකින්ය.
ඩප්පියක් ගැසීමට හෝ වෙඩි තැබීමක් සිදු කිරීමට චණ්ඩින් ලෙස ප්‍රසිද්ධව සිටි අය බොහෝ විට ආවේ පයින්ය.
විශ්‍රාමික බන්ධනාගාර නියාමක විජේදාස මහතා පවසන අන්දමට එදා සිටි චණ්ඩින්ගේ ක්‍රියාකාරකම් වැඩි වීමට හේතුවී ඇත්තේ ඔවුන් ගැන ප්‍රදේශවාසීන් පොලිසිවලට පැමිණිලිකිරීමට නොයෑමය.
එයට හේතුව වෙන කිසිවක් නොව ඔවුන්ට ඇති බිය යැයි විජේදාස මහතා පවසයි.

 

m