බල තණ්හාවට විකුණුපු පක්ෂය

ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා නායකත්වය  දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා හැර එම පක්ෂයේ සියලු සාමාජිකයන් මේ මස 30 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

එදින පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ (සිරිකොතදී) පැවත්වෙන උත්සවයකදී   දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද සැලසුම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සරත් ෆොන්සේකා මහතාට එ.ජා.ප. සාමාජිකත්වය පිරිනැමීමට නියමිතය., මෙම කරුණ රහසක් වශයෙන් තබාගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය  මේ දක්වා කටයුතු කළේය.

පසුගිය කාලය තුළ මේ සම්බන්ධව එම පක්ෂ අභ්‍යන්තරයේ  දීර්ඝ සංවාදයක් ඇති වී තිබෙන අතර, මේ හේතුවෙන් මතවාද දෙකක් නිර්මාණය වී තිබේ.
ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් මෙම තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණද, සරත් ෆොන්සේකා මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමග එක්වුවහොත් මන්ත්‍රීවරුන්ට  මීට වඩා ජනතා සේවයක නිරත විය හැකි බවයි.

එසේම ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂත්වය ලබාගැනීමට සහ එම පක්ෂයේ හිස්ව ඇති ආසන සංවිධායක ධුර ලබාගැනීමට අවස්ථාව තිබෙන බවද ෆොන්සේකා මහතා පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

ස්වාධීන පක්ෂයක් ලෙසින් ඉදිරියට යා යුතු බවට පිරිසක් අදහස් දක්වා තිබෙන අතර, තවත් පිරිසක් එ.ජා.ප.ය සමග එකතු වීම සම්බන්ධව කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ සිට පසුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග එක්වූ පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකයන් මෙම තීරණය පිළිගැනීමටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්වූ පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකයන් මෙම තීරණයට විරුදධ බවත් ප්‍රකාශ කර තිබේ.
විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන පිරිස ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන බව ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ.