හිරේ යන ප්‍රභූවරු සැප ගන්නා මොකක්ද මේ බන්ධනාගාර රෝහල

දිවි නැගුම ව්‍යාපෘතියේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් මොහොතේදී ඔහුට හෘදයාබාධයක් වැළඳී ඇතැයි කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාලට කීවේ බැසිල්ගේ නීතිඥවරුය. එබැවින් බැසිල්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ දරුණු හෘදයාබාධයක් වැළඳී ඇති නිසා බැසිල් රාජපක්ෂව රෝහල් ගත කිරීමට නියෝග කරන ලෙසය. බැසිල් රාජපක්ෂ පමණක් නොව ඉකුත් කාලයේ හිරේ විලංගුවේ වැටුණු ප්‍රභූවරුන් රැසකට හිටිහැටියේ ලෙඩ හැදුණෝය. සමහරුන්ට හෘදයාබාධය තවත් අයට පේ‍රෂර්ය. හිටිහැටියේ දියවැඩියාව වකුගඩු රෝග හැදුණු ප්‍රභූවරුද සිටිති.
සජින් වාස් ගුණවර්ධන සහ ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුද ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට චෝදනා ලැබ ඇති යුද හමුදා බුද්ධි අංශ නිලධාරීහුද හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන ද හිරේ සිටියද ඔහු හුන්නේ බන්ධනාගාර රෝහ‍ලේය. රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු බන්ධනාගාර රෝහලට ඇතුළු කළ අලුත් රෝගියා වන්නේ හිටපු ‍‍‍ජ්‍යෙෂ්ඨ නි.‍පොලිස්පති අනුර සේනානායකය. රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනයට රක්ෂිත බන්ධනාගාර ගත කළ විට ඔහුට හදිසියේ වකුගඩු රෝගයක් හැදුණු බව සඳහන්ය.
මේ කතා අසන විට අපට හිතෙන්නේ හිරේ යන සෑම ප්‍රභූවරයෙක්ම හදිසියේ ලෙඩවීමේ රහස  කුමක්දැයි යනුවෙනි. ඒ ගැන අප ඇසුවේ වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් හා බුද්ධි ආරක්ෂක හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල් දෙණියගෙනි.
බන්ධනාගාර රෝහල කියන්නේ ප්‍රභූවරුන්ට විතරක් ලැබෙන වරප්‍රසාදයක් ‍නෙවෙයි. බන්ධනාගාර ගතවීම කියන්නේ ඕනෑම අයකුට දරාගන්න අමාරු ලොකු පීඩනයක්. එහෙම අවස්ථාවකදී රටේ වැදගත් යයි සම්මත පුද්ගලයෙක්ට බන්ධනාගාර ගතවෙන්න වුණාම ඔවුන් හදිසි මානසික පීඩනයකට පත්වෙනවා. මතෛක් කල් තමුන් ජීවත් වූ සමාජ පසුබිම යටතේ ඔවුන්ට එවැනි හදිසි දුෂ්කරතාවයක් දරාගත නොහැකි වෙනවා. එවන් හදිසි අවස්ථාවලදී අධි රුධිර පීඩනය හෘදයාබාධ වැනි රෝගයන්ගෙන් පීඩා විඳින පුද්ගලයෝ හදිසියේ රෝගාතුර වෙනවා. එවැනි පුද්ගලයන්ට වෛද්‍ය පරීක්ෂණයට පත්කර අධිකරණ වාර්තාවට අනුව ඔවුන්ව බන්ධනාගාර රෝහල වෙත යොමු කරනවා. එතුළ ඇති එකම පරමාර්ථය වන්නේ රැඳවුවා කවුරු වුණත් තත්ත්වය තරාතිරම නොබලා ඔහුට ඇතිවිය හැකි ජීවිත අවදානමෙන් මුදා ගැනීමයි. ඔහු කියන්නේය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියනා හැටියට හිරේට නියම වූ පුද්ගලයා කුමන තරාතිරමක අයකු වුවත් ඔහුගේ කැමැත්තට හිර ගෙදර රෝහලට ඇතුළු වීමට ඉඩ ලැබෙන්නේ නැත. වැලිකඩ බන්ධනාගාර රෝහල ගැන රටුන් අතරේ නිතර කතා වුවත් ලංකාවේ සෑම බන්ධනාගාරයක් ආශ්‍රිතවම බන්ධනාගාර රෝහල් ස්ථාපිත කර ඇත්තේය. මෙම රෝහල්වල ආරම්භයද බන්ධනාගාර ආරම්භ කළ 1802 කාල පරිච්ජේදය දක්වා විහිදී යන්නේය. බන්ධනාගාර රෝහල් අතරින් ලංකාවේ ඇති විශාලම බන්ධනාගාරය වන වැලිකඩ බන්ධනාගාරය තුළ ඇත්තේ ලංකාවේ විශාලතම බන්ධනාගාර රෝහලයි. වාට්ටු විසි තුනකින් සමන්විත එම රෝහල රජයේ රෝහලකට නොදවෛනිය.
රැඳ වූවන්ට පමණක් නොව රැඳවියන්ටද එහි වාට්ටු ඇත්තේය. රැඳ වූවන් වෙනුවෙන් වාට්ටු 23ක් තිබෙන විට රැඳවියන් වෙනුවෙන් ඇත්තේ වාට්ටු තුනකි.
මෙම රෝහ‍ලේ සේවය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් යොදවා ඇත්තේ ද සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ය. එනමුත් හිරගෙදර රෝහ‍ලේ හෙද හෙදියෝ වශයෙන් සිටින්නේ ඒ ක්‍ෂේත්‍රය පිළිබඳ පුහුණුව ලද බන්ධනාගාර නිලධාරීහු හා නිලධාරිනියෝය. ඊට අමතරව සහයකවරුන් ලෙස සේවය කරන්නේ දීර්ඝ කාලීනව සිර දඬුවමකට යටත්ව බන්ධනාගාර ගතව සිටින ඉතාම හොඳ කල් ක්‍රියාවෙන් පසුවන සිරකරුවන්ය. බන්ධනාගාර භාෂාවෙන් ඔවුන් හඳුන්වන්නේ පාටිය ලෙසය. ඔවුන්ගේ සහය ඇතිව හදිසි අවස්ථාවලදී රැඳවූවන්ට හා රැඳවියන්ට කඩිනම් ප්‍රතිකාර දීමට ජේලර්වරු සහ වෛද්‍යවරු සූදානම්ව සිටිති.

බන්ධනාගාර ගතවන රැඳවූවකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදය වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක පැහැදිලි කළේ මෙසේය.
බන්ධනාගාර ගතවන රැඳවියකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම තීරණය කරන්නේ බන්ධනාගාර ආඥා පනත මගින් එම තීරණය ක්‍රියාත්මක කරන්නේ බන්ධනාගාර අධිකාරියෙන් සේම බොහෝ විට අධිකරණය මගිනුත් රැඳවූවකු කෙළින්ම බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්න නියෝග දෙනවා. බන්ධනාගාර රෝහලෙන් වෙනත් රෝහලකට මාරු කරනවාද පෞද්ගලික රෝහලකට මාරු කරනවාද කියන දෙය තීරණය කරන්නේ නීති රීතිවලට අනුකූලවයි. එය බන්ධනාගාර ප්‍රධාන වෛද්‍යවරයා හෝ අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කළ යුතු වෙනවා. අධිකරණයෙන් කිසියම් රැඳවූවකු රෝහල් ගත කිරීමට නියෝග කළොත් බන්ධනාගාර අධිකාරිය එයකළ යුතුයි. නැතිනම් අදාළ රැඳවූවාට යම් ගැටලුවක් ඇතිවුවහොත් අපි වගකියන්න ඕනෑ.
බන්ධනාගාර රෝහලෙන් අනෙකුත් රෝහල්වලට ඇති විවිධ සායන මෙන්ම පහසුකම්ද ඇත්තේය.
මානසික රෝගී වාට්ටුව, සමාජ රෝග වාට්ටුව, කායික රෝග වාට්ටුව, උගුර, කන හා නාසය වාට්ටුව ශල්‍යාගාරය, ක්ෂය රෝගය වාට්ටුව, සමේ රෝග වාට්ටු සහ දන්ත ශල්‍යාගාරයක්ද එහි තිබේ. දිනකට රෝහලෙන් රෝගී රැඳවූවෝ 220 පමණ නේවාසික ප්‍රතිකාර ලබති. ඊට අමතරව දිනකට බාහිර රෝගී අංශයේදී 500 700 ක් අතර රෝගී ගණනක් ප්‍රතිකාර ලබා නැවත බන්ධනාගාරයට යවති. එපමණක් නොව මානසික රෝගීන් 173ක් බන්ධනාගාර රෝහ‍ලේ සහ අංගොඩ මානසික රෝහ‍ලේ ප්‍රතිකාර ලබයි. අංගොඩ මානසික රෝහ‍ලේ ප්‍රතිකාර ලබන සිරකරුවන් එහි රැඳී සිටින්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේය.
කොයි තරම් පහසුකම් තිබුණත් සිරකරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම ලොකු අවදානම් වැඩක් විශේෂයෙන්ම දරු ප්‍රසූතියක් වැනි කටයුතුවලදී මෙම රෝහලෙන් ප්‍රතිකාර කරන්නේ නැහැ. එවන් තත්ත්වයක සිටින කාන්තාවන් කාසල් රෝහල හෝ සොයිසා රෝහලට යවනවා. ඒත් ඇතැම් අවස්ථාවලදී සමහර කාන්තාවන් ඔවුන්ගේ මුරණ්ඩුකමට අමාරුවක් දැනෙනවා කියලා කියන්නේ නැතිව ඉන්නවා. එහෙම වෙලාවට බන්ධනාගාරය තුළදී දරුවා බිහිවෙනවා. එහෙම වුණාම ඉක්මනට ඔවුන් රජයේ රෝහලක් වෙත යවනවා. ‍පොඩි ළමයිනුත් හදිසියේ අසනීප වෙනවා. මහා රෑක වුණත් ගිලන් රථයෙන් රිජ්වේ ආර්යා රෝහලට මවත් සමගම යවනවා. ඒත් සමගම බන්ධනාගාර නිලධාරීන් ආරක්ෂාවට යනවා. සමහර රෝගීන් වෙනත් රෝහල්වලට යවන්නේ මාංචු දාලා. ඒක බන්ධනාගාර නීතියක්. නමුත් කාන්තාවන්ව සහ ගර්භණී කාන්තාවන්ව මාංචු දාලා අරගෙන යන්නේ නැහැ. හැම මාසයකම ගර්භණී කාන්තාවන්ට ඔවුන්ගේ සායන වලට රැගෙන යනවා.
බන්ධනාගාර රෝහ‍ලේ ප්‍රතිකාර ලබන සිරකරුවන් අතරින් බහුලවම දියවැඩියා රෝගීන්ය. දෙවනුව බොහෝ රෝගීන් ප්‍රතිකාර ගනු ලබන්නේ ක්ෂය රෝගය සඳහාය. ඊට අමතරව මානසික රෝගීන්ද වැඩි වශයෙන් ප්‍රතිකාර ගනු ලබයි. එයට හේතුව වනුයේ විටක මානසික රෝගීන් ලෙස සැලකෙන ඇතැම් පුද්ගලයන්ව යම් වරදකට හසු වූ විට ඔවුන්ට ඇප දී මුදා ගන්නට කෙනෙකු නැති වීමය. මේ නිසා ඔවුහු රක්ෂිත බන්ධනාගාර ගත වෙති. එහිදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් බන්ධනාගාර රෝහ‍ලේ රඳවා ගැනීමට නියෝග ලැබෙති. ඒ අතර බන්ධනාගාර රෝහල තුළ එක් ඒඩ්ස් රෝගියෙකුද ප්‍රතිකාර ලබයි.
බන්ධනාගාර රෝහල භාරව කටයුතු කරනනේ ජේලර් අතුල කුමාරසිංහය. ඔහු පවසන්නේ බන්ධනාගාර රෝහ‍ලේ වටපිටාව පරීක්ෂා කිරීම හා එහි සනීපාරක්ෂක තත්ත්වය සොයා බැලීමට දිනපතාම මහජන පරීක්ෂකවරු බන්ධනාගාර රෝහලට පැමිණෙන බවයි.
ඒ විතරක් ‍නෙවෙයි බන්ධනාගාර රෝහ‍ලේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා විශේෂිත කෑම වර්ග ලබා දීමත් බන්ධනාගාර රෝහලින් කරනවා. එළවළු පලතුරු ‍ප්‍රෝටීන් ආහාර අවශ්‍ය සියලුම ආහාර වෛද්‍ය නිර්දේශයකට අනුව දෙනවා. ඔහු කියන්නේය.
බන්ධනාගාර රෝහ‍ලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ජයමාන්නය. ඔහු ඇතුළු වෛද්‍යවරු 17ක් බන්ධනාගාර රෝහ‍ලේ සේවය කරති. සතියේ දින පහ තුළ විශේෂ සායන සඳහා පිටතින්ද වෛද්‍යවරු පැමිණෙති.
අපි බන්ධනාගාරය තුළ සේවය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැය විසි හතර පුරාම මෙම රෝහ‍ලේ ප්‍රතිකාර දෙනවා.
එක්ස් කිරණ ගැනීම සහ රසායනාගාර සේවයක් මෙහි තිබෙනවා. ඒ වගේම සුළු ශල්‍ය කර්ම සිදුකළ හැකි ශල්‍යාගාරයක්ද මෙහි තිබෙනවා. සිර කරුවන් ලෙස අපි මේ රෝගීන්ට සලකන්නේ නැත. අපට හැමෝම රෝගීන් අපි හැමෝටම හොඳින් ප්‍රතිකාර කරනවා ඔහු කියන්නේය.
බන්ධනාගාර රෝහ‍ලේ ප්‍රතිකාර ලබන්නේ හෘදයාබාධ, අධික රුධිර පීඩනය ඇති රෝගීන් පමණක් නොවේ. දෙපා අහිමි කාන්තාවක්ද අපට රෝහ‍ලේදී හමුවිය. ඇය සිර දඬුවම් විඳින්නේ මිනීමැරුමකට වරදකාරිය වීය. ඉක්බිතිව ඇය බන්ධනාගාරය තුළදී දියවැඩියා රෝගයට ගොදුරු වූවාය. එහිදී ඇති වූ තුවාල සුව නොවූ බැවින් ඇගේ දෙපා කපා ඉවත් කරන්නට සිද්ධ විය.
ඇය දැනට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබන රැඳවියකි. දැන් ඇගේ වයස අවුරුදු 82කි.

අකිලා නදීශානි බණ්ඩාර

ඡායාරූප:- මලිත් ගමගේ