කොටි සංවිධානයේ භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර්ට නඩු නෑ

කොටි සංවිධානයේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කළ ජෝර්ජ් මාස්ටර් මුදා හරිමින් ඔහුට එරෙහි නඩු කටයුතු අවසන් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.

2009 වසරේ යුද්ධය නිම වීමෙන් පසුවයි රජයේ ආරක්ෂක අංශ මගින් වන්නි ප්‍රදේශයේ දී ජෝර්ජ් මාස්ටර් අත් අඩංගුවට ගනු ලැබුණේ.

වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයකු වූ වේලුපිල්ලේ කුමාරු පංචරත්නම් කොටි සංවිධානය තුළ හඳුන්වන ලද්දේ ජෝර්ජ් මාස්ටර් යන නමිනි.

කොටි සංවිධානයට සම්බන්ධ වීමෙන් අනතුරුව ඔහු එහි දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම් සමඟ කටයුතු කළේය.

යුද්ධය නිමාවේ යුදකලාපයෙන් පිටව අනාථ කඳවුරකට පැමිණීමෙන් පසු අත්අඩංගුවට පත්ව මාස කීපයක් පොලිසිය භාරයේ රඳවා ගනිමින් ප්‍රශ්න කරනු ලැබීමෙන් අනතුරුව ජෝර්ජ් මාස්ටර් නීතිපති උපදෙස් මත ඇප මත මුදා හරිනු ලැබුණි.

අදාළ පැමිණිල්ල අද (04) කැඳවූ අවස්ථාවේ පොලිසිය කියා සිටියේ සැකකාර ජෝර්ජ් මාස්ටර්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවයි.

ඒ අනුව ඔහු මුදා හරින මෙන් නීතිපතිවරයා උපදෙස් දී ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එම දැනුම් දීම පිළිගත් අධිකරණය සැකකාර ජෝර්ජ් මාස්ටර් මුදා හැරීමට නියෝග කළේය.

කොටි සංවිධානයේ භාෂා පරිවර්තකයකු වූ ජෝර්ජ් මාස්ටර් ඉංග්‍රීසි සහ සිංහල භාෂා ප්‍රවීණයකු වූ අතර ශ්‍රී ලංකා ආණ්ඩුව සහ කොටි සංවිධානය අතර රට තුළ සහ විදේශයන්හි පැවැත්වුන සාම සාකච්ඡාවන්හි දී භාෂා පරිවර්තකයකු මට්ටමින් ඒවාට සහභාගී විය.

e