විරන්දාට හිතපු නැති දෙයක් වෙලා

අද අපගේ පිළිසඳරට එක් වන ඇය ඔබට නුහුරු රුවක් වන්නට පුළුවන්. තවමත් හිරිමල් තාරුණ්‍යයේ පසු වන මේ රුවැත්තිය දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙස තම අනන්‍යතාව ලොවට ගෙන යන්නට හීන දකින විරන්දා බණ්ඩාර ය.

කවුද මේ විරන්දා ?

ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට මගේ ප්‍ර‍තිරූපය ගොඩ නඟා ගන්න පළමු පියවර තැබුවා විතරයි. නමුත් විරන්දා බණ්ඩාර කියන නම තවම බොහෝ දෙනෙකුට නුහුරුයි නේද..

එහෙනම් හඳුන ගන්න විදිහක් කියමු නේද?

මගේ අප්පච්චිගේ නම කිවොත් නම් හැමෝම හඳුනා ගනීවි.

අප්පචිචි කවුද කියලා කියමු බලන්න?

ප්‍රවීණ ජ්‍යොතීර්වේදි චන්ද්‍රසිරි බණ්ඩාර.

බණ්ඩාර පවුලේ එකම දියණිය?

නැහැ. මම පවුලේ බාලයා. ඉන්නේ අක්කා කෙනෙක්.

විරන්දා තවම පාසල් යන වයසේ නේද?

මගේ වයස අවුරුදු 16යි. පාසල් ගිහින් නම් ඉවරයි. ගේට්වේ ජාත්‍යන්තර පාසලෙන් තමයි මම අධ්‍යාපන කටයුතු කළේ.

විරන්දා දැන් මොනවද කරන්නේ?

දැනට මුකුත් කරන්නේ නැහැ. ලබන වසරේ මොස්තර නිර්මාණකරණයෙන් උසස් අධ්‍යාපන කටයුතු කරන්න විශ්ව විද්‍යාලයට ඇතුළු වෙනවා..

විරන්දා එකවරම කරළියට එන්න විශේෂ හේතුවක් තියෙනවා?

ඔව්. ‘ponds Mother Daughter Fashion Show’ එකෙන් ජයග්‍රහණය කළේ මම නිසා නේ..

තරගයට එකතුවුණු ළාබාලතම තරගකාරිය කියලත් අපිට ආරංචියි?

ඒ කතාව නම් හරියටම හරි.

කොහොමද ඔබට ඒ අවස්ථාව හිමි වුණේ?

පොඩි කාලේ ඉඳන්ම ෆැෂන් ඩිසයිනිං වලට මම ලොකු කැමැත්තකින් හිටියේ. එයට මගේ සහජ දක්ෂතාවක් තියෙනවා කියලා මට තේරුම් ගියා. ඉතින් මේ ෂෝ එක ගැන දැන ගන්න ලැබුණම මම හිතුවා ට්‍රයි කරලා බලන්න. මට ඕනේ වුණේ මගේ දක්ෂතාව හරියටම ඒ පැත්තද කියලා තහවුරු කරගන්න. මේ ජයග්‍ර‍ණයත් එක්ක මට අවශ්‍ය පිළිතුරත් දැන් ලැබිලා තියෙනවා.

සෑහෙන ලක ලැහැස්ති වෙන්න ඇති නේද?

ෂෝ එකට නම් මාස දෙක තුනක සිට තමයි ලෑස්ති වුණේ.

ජයග්‍ර‍ණය කරන්න බලා ගෙනමයි ඉඳලා තියෙන්නේ?

ජයග්‍ර‍ණය මට ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ.. හැබැයි මේ තරගයේ ටොප් ෆයිව් වලට තේරෙවී කියන විශ්වාසයක් මට තිබුණා.

නොසිතු ජයක් ලබන්න ඔබේ නිර්මාණවල විශේෂත්වයක් තියෙන්න ඇතිි?

මම හදා ගත්තු තේමාවක් තිබුණා. Golden Era කියලා 1950 වල කන්සෙප්ට් එකක් තමයි මම ඊට තෝර ගෙන තිබුණේ. ඒ කාලේ වඩාත් ජනප්‍රිය වූ ඇඳුම් විලාසිතා වලට වර්තමානයේ තියෙන විලාසිතා එකතු කරගෙන අලුතින් ඇඳුම් නිර්මාණය කරගත්තා. ඒ වගේ විලාසිතා හයක් මේ තරගය වෙනුවෙන් මම නිර්මාණය කළා. ඒ අතරින් මම නිර්මාණය කළ ක්‍රීඩා අැඳුම් විලාසිතා වෙනුවෙන් බොහෝ දෙනෙක් ‍ප්‍රසංශා කළා. ඒ නිසාම වෙන්න ඇති ඒ අංශය වෙනුවෙන් මට සම්මානයකුත් දිනා ගන්න පුළුවන් වුණේ.

මෝස්තර නිර්මාණ ශිල්පය කොහෙන්ද විරන්දාට මේ තරම් දැනුමක් ලැබුණේ?

පොඩි කාලේ ඉඳලා චිත්‍ර‍ අඳින්න මම හරිම කැමැතියි ලොකු වෙනකොට මගේ චිත්‍ර අතරට ඇඳුම් සහ සපත්තු විලාසිතා තමයි වැඩිපුර එකතු වුණේ. ඉතින් මම ඒ අඳින නිර්මාණ වලට ගොඩක් අය කැමැතියි. ඔහොම යනකොට මටත් තේරුණා ඒ පැත්තට මගේ දක්ෂතාවක් තියෙනවා කියලා. ඒ නිසා මම අන්තර්ජාලයෙන්, පොත් පත් වලින්වගේම ලොව ප්‍රමුඛ මොස්තර නිර්මාණ ශිල්පීන්ගේ අලුත් විලාසිතා ගැන නිතර නිතර සොයන්න පටන් ගත්තා. එහෙම ලබා ගන්න දැනුමට මගේ නිර්මාණ හැකියාව එකතු කරලයි මම විලාසිතා නිර්මාණය කරන්නේ.

විරන්දා කැමැතිම මෝස්තර නිර්මාණ ශිල්පියා හෝ ශිල්පිනියක් ඉන්නවාද?

ඔව්. එලී සාබ් ගේ විලාසිතා ගැන මම නිතරම අප්ඩේට් වෙනවා.

මෙරට විලාසිතා ක්ෂේත්‍රයට ඔබ අවතීර්ණ වෙන්නේ කොහොමද?

ලබන වසරේ මගේම විලාසිතා දැක්මක් ඉදිරිපත් කරන්න අදහසක් තියෙනවා. තවම මගේ බ්‍රෑන්ඩ් නේම් එක කට්ටිය දන්නේ නැහැ. දැන් මම මහන්සි වෙන්නේ මගේ බ්‍රෑන්ඩ් නේම් එක හදා ගන්න. ඉතින් මගේ බ්‍රෑන්ඩ් නේම් එක කවදාහරි ජාත්‍යන්තරයට ගෙන යෑම තමයි මගේ අරමුණ.

ඒ කියන්නේ විරන්දා, විනෝදාංශය අනාගත වෘත්තීය කරගන්නයි හදන්නේ?

ඔව්.

විරන්දාගේ මෝස්තර වලට ගෙදරත් සෑහෙන ඉල්ලුමක් තියෙනවා කියලා අපිට ආරංචියි?

ඔව්. අපේ පවුලම හරිම ෆැෂන් ෆෝවර්ඩ්. අක්කයි අමම්මයි ගොඩක් කැමැති මගේ විලාසිතා වලට. ඒ නිසා මගේ ඇඳුම් වගේම එයාලගේ ඇඳුම් විලාසිතා බොහො වෙලාවට නිර්මාණට වෙන්නේ මගේ අතින්.

අප්පච්චිගේ අඩිපාරේ යන්න දුවගේ කැමැත්තක් නැද්ද?

අක්කා දැනටමත් අප්පච්චිගේ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉදිරියේදි ඒ පැත්තටත් මම සම්බන්ධ වේවි.

ඒ කියන්නේ විරන්දාට ජ්‍යොතිෂ‍ය ගැනත් දැනුමක් තියෙනවා?

ජ්‍යොතිෂයට වඩා මගේ කැමැත්ත තිබෙන්නේ උපදේශන සේවා වලටයි. එයත් මට මගේ අප්පච්චිගෙන්ම උරුම වුණ දෙයක්. ඒ නිසාම මනෝ විද්‍යාව පිළිබඳ වැඩිදුර හදාරන්නත් මගේ හිතේ ලොකු කැමැත්තකින් ඉන්නේ.

 

ඡායාරූප – ශයින් හසිත් වික්‍රමනායක