මහ බැංකු අධිපතිගේ වග තුග

1950 අප්‍රේල් 03 වන දා කොළඹ දී උපත ලද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධියද, සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියද ලබාගත් ඔහු 1974 දී මහ බැංකුවේ සේවයට එක් විය. මහ බැංකුව තුළ අංශ කිහිපයක කටයුතු කළ ඔහු 1981 – 89 කාලය තුළ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේද සේවය කළේය. 1990 සිට 2008 දක්වා පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ ආර්ථික කටයුතු පිළිබඳ හිටපු අධ්‍යක්ෂ වරයා‍ද වේ.
වෘත්තීය ආර්ථික විශේෂඥ කුමාරස්වාමි මහතා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ උපදේශක වරයෙකු වශයෙන්ද කටයුතු කළේය.
ඉන්දු ලංකා සහයෝගිතා තාක්ෂණික ගිවිසුම (ITCA) ඇතුළු ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයක් සැකසීමේ උපදේශක වරයෙකු වශයෙන්ද ඔහු කටයුතු කළේය.
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා  ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වන අධිපති වරයා ලෙස තේරී පත් විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ සහ වත්මන් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිත වරියක වන රාධිකා කුමාරස්වාමි මහත්මිය මොහුගේ නැගණියයි.

මෙතෙක් මහ බැංකු අධිපති ධූරය දැරූ පිරිස

01. ජෝන් එක්ටර් (1950 අගෝස්තු 28 සිට 1953 ජූනි 30)

02. දේශමාන්‍ය එස්.යූ. ජයවර්ධන (1953 ජූලි 01 සිට 1954 ඔක්තෝම්බර් 13)

03. සර් ආතර් රණසිංහ (1954 ඔක්තෝම්බර් 14 සිට 1959 ජූනි 30)

04. ඩී.ඩබ්ලිව් රාජපතිරණ (1959 ජූලි 01 සිට 1967 අගෝස්තු )

05. ඩබ්ලිව් තෙන්නකෝන් (1967 අගෝස්තු 31 සිට 1971 මැයි 31)

06. හර්බට් ඊ තෙන්නකෝන් (1971 ජූලි 01 සිට 1979 ජනවාරි 22)

07. ආචාර්ය ඩබ්ලිව් රාසපුත්‍රම් (1979 පෙබරවාරි 15 සිට 1988 නොවැම්බර් 18)

08. ආචාර්ය නෙවිල් කරුණාතිලක ( 1988 නොවැම්බර් 19 සිට 1992 ජුනි 30)

09. එච්.බී දිසානායක ( 1992 ජුලි 01 සිට 1995 නොවැම්බර් 14)

10. දේශමාන්‍ය ඒ.එස් ජයවර්ධන ( 1995 නොවැම්බර් 15 සිට 2004 ජූනි 30)

11. දේශමාන්‍ය සුනිල් මෙන්ඩිස් ( 2004 ජුලි 01 සිට 2006 ජුනි 30)

12. අජිත් නිවාඩ් කබ්රාල් ( 2006 ජුලි 01 සිට 2015 ජනවාරි 09)

13. අර්ජුන් මහේන්ද්‍රන් ( 2015 ජනවාරි 26 සිට 2016 ජුනි 30)

14. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි (2016 ජුලි 02)