අර්ජුන් මහේන්ද්‍රන්ට රජයෙන් තවත් තනතුරක්!

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමග ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මුහුණ දෙන ගැටලු විසඳීමට පත් කෙරුණු දොළොස් පුද්ගල අග්‍රාමාත්‍ය අනු කමිටුවේ කටයුතු  (04) සිට ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබූ දොළොස් පුද්ගල කමිටුවේ කැඳවුම්කරු ලෙස පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතාය.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහාතා, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා, භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම් මහතා, ජනාධිපති ආර්ථික උපදේශක සරත් රාජකරුණා මහතා, ආචාර්ය සමන් කැලේගම මහතා, ක්‍රිෂාන් දිසානායක මහතා, මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා, නිෂාන්ද මැල් මහතා, මුර්තසා ජෙෆර්ජි මහතා හා අනුෂ්ක විජේසිංහ මහතා එම කමිටුවේ සෙසු සමාජිකයෝ වෙති.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවට බලපාන ආර්ථීකමය කරුණු හමුවේ ආසියාව සමග මධ්‍ය සහ දීර්ඝ කාලීන වශයෙන් සම්බන්ධතා තර කරගන්නා ආකාරය රජයට නිර්දේශ කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යය වෙයි.

චීනය හා ඉන්දියාව සමග ඉදිරියේදී තාක්ෂණ වෙළෙඳ ගිවිසුම්වලට හැකි ඉක්මනින් එළැඹීමද මෙම කමිටුව සතු වගකීමක් බව ආරංචි මාර්ග පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 18 හා 19 දෙදින සිංගප්පූරුවේ කරන සංචාරයේදී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ඇති කර ගන්නා වෙළෙඳ ආර්ථික හා තාක්ෂණ ගිවිසුම් සම්බන්ධ වූ සියලු කටයුතු මෙම කමිටුව විසින් වහාම සම්පූර්ණ කළ යුතුව තිබේ.

3