රජය විවේචනය කිරීම පමණයි ජනමාධ්‍යය කතා කරන්නේ

අද ඇතැම් පෞද්ගලික රූපවාහිනි නාළිකා සහ ගුවන් විදුලි නාළිකා තම ගුවන් කාලයෙන් සියයට 80 ක් පමණ වෙන් කරනු ලබන්නේ ආණ්ඩුව විවේචනය කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එසේම රටේ සංවර්ධන කටයුතු සහ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තින් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට වැය කරන්නේ සියයට 20 ක් පමණක් බව වාර්තා වී තිබෙන බවද ජනාධිපතිවරයා කියයි.

රජය විවේචනය කිරීම පිළිබඳ කිසිදු ගැටලූවක් නොමැති මුත් සාධාරණ සහ සමබර තොරතුරු ජනතාව අතරට ගෙන යමින් තම මාධ්‍ය වගකීම රට වෙනුවෙන් ඉටු කිරීම පිළිබඳ මාධ්‍ය ආයතන වෙත මග පෙන්වීමේ වැදගත්කම පිළිබඳවද ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

එය කිසිසේත් මාධ්‍ය මර්දනයක් සඳහා කරන කටයුත්තක් නොවන අතරම ජනතාවට හරවත් මාධ්‍ය භාවිතයක් පිළිබඳ අයිතිය ලබාදීම වෙනුවෙන් කෙරෙන වැඩපිළිවෙළක් බව ද ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම විද්‍යුත් මාධ්‍ය ආයතන මගින් තමන්ට ලබාදී ඇති සංඛ්‍යාත පරාසයන් අභිබවා යමින් නීති විරෝධි ලෙස කටයුතු කිරීම පිළිබදව සොයා බැලීමට නවීන තාක්ෂණය උපයෝගි කර ගැනිමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වඩා මහජන සම්බන්ධතාවයක් ඇති ආයතනයක් ලෙස ගොඩනගමින් එහි කාර්ය භාරය සහ සේවාවන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

දුරකථන ගාස්තු සඳහා පනවා ඇති වැට් බද්ද හේතුවෙන් පැන නැගී ඇති ගැටලූ සහ ඒ සඳහා වඩා සරල බදු ක‍්‍රමයක් හදුන්වාදීමේ වැදගත්කම පිළිබඳව ද නිලධාරින් විසින් ජනාධිපතිවරයා හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සොයා බලන බව හෙතෙම ප්‍රකාශ කරයි.

ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා  (07) පෙරවරුවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක් ලෙස ආයතනයේ ව්‍යුහය සහ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ විය.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2004 වසරේ සිට රටේ ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක් වුවත් එහි කටයුතු සොයා බැලිමට ජනාධිපතිවරයෙකු ගිය පළමු අවස්ථාව මෙය බව සඳහන්ය.

කාර්ය මණ්ඩලය විසින් මෙහිදී මහත් හරසරින් යුතුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පිළිගත් අතර ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳ මහත් ප‍්‍රසාදය පළ කර සිටියහ.

අනතුරුව අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ආයතනික ව්‍යුහය ජනාධිපතිවරයාගේ නිරික්ෂණයට ලක් විය.

ආයතනයේ පවතින පුරප්පාඩු පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ අතර සුදුසුකම් ඇති නිළධාරින් කඩිනමින් ඒ සඳහා බඳවා ගැනීමට ද උපදෙස් දුන්නේය.

විදුලි සංදේශ නියාමන කොමිෂන්සභාවේ සභාපති ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2