මහින්ද අගමැති කරපු මොකක්ද මේ ඡායා කැබිනෙට්ටුව

මේ සමයෙහි ඡායා කැබිනෙට්ටුව දේශපාලනයට නුහුරු වදනක් වුවද, මින් පෙර ලංකාවේ ඡායා කැබිනෙට්ටු තිබුණි. ඒ ක්‍රමය ලංකාවට ආවේ වෙස්මිනිස්ටර් සම්ප්‍රදායෙනි. ලංකාවට පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දුන් බ්‍රිතාන්‍යයේ හැමදාමත් ඡායා කැබිනෙට්ටු පිහිටුවීය. එය පිහිටුවනු ලබන්නේ විරුද්ධ පක්ෂය විසිනි. ආණ්ඩුවේ අමාත්‍යාංශවල කටයුතු නිරීක්ෂණය කිරීම ඡායා කැබිනට් ඇමැතිවරුන්ගේ වගකීමය. එනමුත් ඡායා කැබිනෙට්ටුවලට කැබිනට් මණ්ඩලය මෙන් නිත්‍යානුකූල නැත. ඊට නිල වගකීමක් ලැබෙන්නේ නැත. කෙසේ නමුදු මින් පෙර ලංකාවේ විපක්ෂය ඡායා කැබිනෙට්ටු පිහිටුවා ගත් අවස්ථා ඕනෑතරම් ඇත්තේය. අසූනවයේදී සිරිමාවෝ බණ්ඩාරනායක විපක්ෂ නායක ධුරය දැරූ අවධියේ ඡායා කැබිනෙට්ටුවක් තිබුණේය. එහි නිවාස හා නාගරික සංවර්ධන ඇමැතිවරයා වූයේ එකල හම්බන්තොට මන්ත්‍රීවරයා වූ මහින්ද රාජපක්ෂය. (එනමුත් 94 දී ඔහුට ලැබුණේ කම්කරු ඇමැති ධුරයයි)
ඡායා කැබිනෙට්ටු ගැන අපේ මතකය අලුත් වූයේ යළිදු වරක් එවැනි දෙයක් ගිය සතියේ පිහිටුවා ගත් නිසාය. මෙවර ඡායා කැබිනෙට්ටුව පිහිටුවා ගත්තේ ඒකාබද්ධ විපක්ෂය විසිනි.

ඒ ඉකුත් 7 වෙනිදාය. ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් පනස්එක් දෙනාටම ඡායා කැබිනෙට්ටුවේ ඇමැතිකම් ලැබි තිබුණේය. ඒ පනස් එකින් හතළිස් එකක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුය. ඉතිරි දහ දෙනා සුළු  පක්ෂවල මන්ත්‍රීවරු හා මන්ත්‍රිනියන්ය. ඡායා කැබිනෙට්ටුවේ සියල්ලෝම  සිංහලයෝය. දෙමළ, මුස්ලිම් කිසිවෙකු ඡායා කැබිනෙට්ටුවේ නැත. එය හරියට 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පිහිටුවූ ඇමැති මණ්ඩලය මෙනි. සර් ඩී.බි. ජයතිලක ප්‍රධාන කොට ඇතුළු එහි හුන් ඇමැතිවරු හත්දෙනාම සිංහලයෝ වූහ. එකල එය හැඳින්වූයේ සර්ව සිංහල කැබිනෙට්ටුව වශයෙනි. ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනෙට්ටුවට දෙමළ හෝ මුස්ලිම් නියෝජනය නැත්තේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින කිසිදු දෙමළ හෝ මුස්ලිම් මන්ත්‍රීවරයකු මහින්ද රාජපක්ෂට සහය නොදැක්වීම නිසාය.
මේ නිසා මුළු උතුරු නැගෙනහිරම නියෝජනය කරන්නට ඡායා කැබිනෙට්ටුවේ සිටින්නේ අම්පාරේ විමලවීර දිසානායක හා ශ්‍රියානි විජේවික්‍රමය. ඉන් ශ්‍රියානි විජේවික්‍රම මහජන එක්සත් පෙරමුණේය. ඒකාබද්ධ විපක්ෂයේ කැබිනෙට්ටුව ඡායා වුවත් මහින්ද රාජපක්ෂට තවමත් පවුල් ගස අත්හරින්නට බැරි සේය. ඒ ඔහුගේ ඡායා කැබිනෙට්ටුවටත් සිය සොයුරා  හා පුතා ඇතුළු කරගෙන සිටින බැවිනි. ඡායා කැබිනෙට්ටුවේ අගමැති, රාජ්‍ය ආරක්ෂක ඇමැති, බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැති මහින්දය. රාජ්‍ය ආරක්ෂක ඇමැති ධුරය හැරුණු විට බලවත්ම ඇමැති ධුරයන් ලෙස සැලකෙන්නේ විදේශ ඇමැති ධුරයය.

එය කොතරම් බලසම්පන්නදැයි කියනවා නම් ඩී.ඇස්.ගේ සිට ජේ.ආර්. දක්වා සියලු අගමැතිවරු ආරක්ෂක ඇමැති ධුරය සමග විදේශ ඇමැති ධුරයද තම සන්තකයේ තබා ගත්හ. ඡායා කැබිනෙට්ටුවේ විදේශ ඇමැති ධුරය දී ඇත්තේ නාමල් රාජපක්ෂටය. චමල් රාජපක්ෂට හිමිවී ඇත්තේ ප්‍රවාහන හා ගුවන් සේවා ඇමැතිකමය. මහින්දට පසු ඡායා කැබිනෙට්ටුවේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨ දිනේෂ් ගුණවර්ධනය. ඔහුට දී ඇත්තේ ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතුය. දැන් ඒ ඇමැතිකම දරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහය. දැන් ඡායා කැබිනෙට්ටුවෙන් දිනේෂ්ට      ලොකු ඇමැතිකමක් දුන්නාට මහින්ද ජනපති වූ කාලයේදී ඔහුට දී තිබුණේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පමණි. එසේම චෝදනා ලද නිශාන්ත මුතුහෙට්ටිගම වැනි මන්ත්‍රීවරුන්ට මහින්ද නියෝජ්‍ය ඇමැතිකම් දෙන විට මහත්මා දේශපාලනඥයකු ලෙස ප්‍රකට රමේෂ් පතිරණ වැනි වෛද්‍යවරයකුට එකල දුන් තනතුරක් නැත.එහෙත් ඡායා කැබිනෙට්ටුවේ රමේෂ් පතිරණට සෞඛ්‍ය ඇමැතිකම ලැබි තිබේ.

මහින්දගේ ඡායා කැබිනෙට්ටුව මෙසේය

මහින්ද රාජපක්ෂ- අගමැති, සම්බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ රාජ්‍ය ආරක්ෂක ඇමැති දිනේෂ්      ගුණවර්ධන – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, චමල් රාජපක්ෂ -ප්‍රවාහන සහ ගුවන් සේවා, ඩලස් අලහප්පෙරුම -අධ්‍යාපන හා පාර්මේන්තු කටයුතු, කුමාර වෙල්ගම -වරාය හා නාවික කටයුතු, ජනක බණ්ඩාර තෙන්නකෝන් -සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳාම, බන්දුල ගුණවර්ධන -මුදල්,  විමල් වීරවංශ -නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා, වාසුදේව නානායක්කාර -ජාතික ඒකාබද්ධතා, ප්‍රතිසන්ධාන, ජාතික සහජීවනය සහ රාජ්‍ය භාෂා, පවිත්‍රා වන්නිආරච්චි -සමාජ සවිබල ගැන්වීම් සහ සමාජ සේවා, සාලින්ද දිසානායක -වැවිලි කර්මාන්ත හා වතු යටිතල පහසුකම්, සී.බි. රත්නායක -වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ, මහින්ද යාපා අබේවර්ධන -කෘෂිකර්ම, ගාමිණි ලොකුගේ -කම්කරු හා කම්කරු සබඳතා, කෙහෙළිය රඹුක්වැල්ල -රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු -කර්මාන්ත හා වාණිජ, චන්ද්‍රසිරි ගජධීර -අධිකරණ සහ ව්‍යවස්ථා සම්පාදන, එස්.එම්. චන්ද්‍රසේන – ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සහ රජරට සංවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ -ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් ගවේෂණ, රෝහිත අබේගුණවර්ධන -විදුලිබල හා බලශක්ති, වීරකුමාර දිසානායක -විද්‍යා හා තාක්ෂණ,     එස්.සී. මුතුකුමාරණ -තැපැල් සේවා, විමලවීර දිසානායක -ඉඩම් සහ නැගෙනහිර සංවර්ධන, උදය පද්ම ශාන්ත ගුණසේකර -ආපදා කළමනාකරණ, නාමල් රාජපක්ෂ -විදේශ කටයුතු,  රමේෂ් පතිරණ -සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය, රංජිත් සොයිසා -පළාත් සභා සහ පළාත් පාලන, විදුර වික්‍රමනායක – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු, ලොහාන් රත්වත්තේ -නගර නිර්මාණ හා ජල සම්පාදන, රොෂාන් රණසිංහ -විදේශ රැකියා ප්‍රවර්ධන හා මහවැලි සංවර්ධන, විජිත බේරුගොඩ – තිරසාර සංවර්ධන හා වනජීවී, කනක හේරත් – විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම්, ජනක වක්කුඹුර – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ, දිලුම් අමුණුගම -ජනමාධ්‍ය, ශ්‍රියානි විජේවික්‍රම -කාන්තා සහ ළමා කටයුතු, මොහාන් පී. ද සිල්වා – බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන, තේනුක විදානගමගේ – කඳුරට නව ගම්මාන සහ යටිතල පහසුකම්, ප්‍රසන්න රණතුංග -මහාමාර්ග, උදය ගම්මන්පිල -නීතිය හා සාමය, සනත් නිශාන්ත -ධීවර හා ජලජ සම්පත්, තාරක බාලසූරිය – සංචාරක, සිසිර ජයකොඩි -ස්වදේශ කටයුතු, ගීතා කුමාරසිංහ -පාරිසරික, කංචන විජේසේකර -ක්‍රීඩා, ප්‍රසන්න රණවීර -ප්‍රාථමික කර්මාන්ත, පියල් නිශාන්ත -ප්‍රාදේශීය සංවර්ධන, නිරෝෂන් ප්‍රේමරත්න -සංස්කෘතික කටයුතු, ඉන්දික අනුරුද්ධ -නැවත පදිංචි කිරීම් සහ ප්‍රජා සංවර්ධන, ඩී.වී. චානක -දක්ෂිණ සංවර්ධන
මේ ලැයිස්තුව බලන විට පැහැදිලි වන්නේ ඒකාබද්ධ විපක්ෂය, මෛත්‍රීට සහය දක්වන ශ්‍රීලනිප මන්ත්‍රීන් අමතක කර ඇති බවය. එහි අරුත ඔවුන් යළිදු වරක් මහින්දට සහය නොදෙනු ඇති බවට උපකල්පනය කර ඇති බවය. එනමුත් එම පිරිස නොමැතිව මහින්දට ‘පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින්’ ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නැත. ඒ නිසා ඡායා කැබිනෙට්ටුව මේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වනතුරුම ඡායා කැබිනෙට්ටුවක්ම වනු ඇත.

9

මිහිරි ෆොන්සේකා