ලංකා IOC ඉන්ධන මිල වෑඩි කරයි

ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන්වල සංශෝධනයක් සිදුකොට තිබේ. ඒ අනුව XtraPremium පෙට්‍රල් ලීටරයක මිල රු. 2.00 කින් ඉහළ දමා ඇත.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී ලංකා ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා කියා සිටියේ සාමාන්‍ය පෙට්‍රල් හා ඩීසල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදුකර නොමැති බවයි.

මෙහිදී ඔහු කියා සිටියේ ඉන්ධන මිල ගණන් තීරණය කරන මිල සූත්‍රයට අනුව මේ වන විට ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවිය යුතු බවත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් මේ වන විට විශාල වශයෙන් ඉහළ ගොස් තිබීම මීට හේතු වී ඇති බවත්ය.

“සුඛෝපභෝගී මෝටර් රථ (High-end vehicles) සඳහා යොදා ගනු ලබන XtraPremium පෙට්‍රල් ලීටරයක මිල රු. 2.00 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. මෙහිදී සාමාන්‍ය පෙට්‍රල් හෝ ඩීසල් මිලෙ හි වෙනසක් සිදුවන්නේ නැහැ. පාරිභෝගිකයාට අවශ්‍ය නම් මිල අඩු ඉන්ධන වර්ගය තම වාහනයට යොදා ගැනීමේ හැකියාව මෙහිදී තිබෙනවා“, යැයි ඔහු මෙහිදී පැවසීය.

මෙය සිය අලෙවියෙන් මෙය 7% ක් පමණක් වන බවත් මිල වැඩි කිරීම නාමික අගයක් පමණක් බවත් එය ලාභ ලැබීමට නොව ව්‍යාපාරය තුළ රැඳී සිටීම සඳහා ගත් පියවරක් පමණක් වන බවත් ලංකා IOC කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා අද දෙරණ සමඟ වැඩිදුරටත් කියා සිටියේය.

 

h