වැඩිම සතුටක් ලබන විදිහ ගැන නයනා කියයි

ඔබ ජීවිතේ වැඩිපුරම සතුටක් ලබන්නෙ මොනවගේ දේකින්ද?
මගේ පුතාගෙ දස්කම් දිහා බලලා. පුතා කොළඹ රාජකීය විද්‍යාලයේ හයවෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. එයා අධ්‍යාපනයට වගේම සංගීතයට, නැටුම්වලට, චිත්‍ර අඳින්න, ක්‍රිකට් ගහන්න මේ හැම අංගයකින්ම දක්ෂතා දක්වනවා. පුතාගෙ දක්ෂතා දකින එක තරම් සතුටක් මට තවත් නෑ.
වැඩිම සතුටක් ඇතිකරන සුවඳ?
මං ගල්වන පර්ෆියුම් එකේ සුවඳ. ඒ සුවඳ මොනවගේද කියලා මට හරියටම කියන්න බෑ. ඒත් මිල තරමක් අධික ඒ විලවුන් සුවඳ දවස පුරාම නොනැසී පවතිනවා.
වැඩිම සතුටක් ලබන ගීතය?
ගොඩක් තියෙනවා. එයින් කීපයක් කිව්වොත් සුජාතා අත්තනායක මහත්මියගෙ ‘සුදෝ මං ආදරෙයි’ ජෝතිපාල මහත්මයාගේ ‘පායා ඇයි හිනැහෙන්නේ’ වගේ දේවල් දක්වන්න පුළුවන්.
වැඩිම සතුටක් ලැබූ ටෙලිනාට්‍යය?
මං රඟපාපු ටෙලිනාට්‍යයක් ගැන කියනව නම් ‘චාතුර්යා’ තමයි.
ලොකුම සතුටකින් කියවපු නවකතාව?
උපාලි වනිගසූරිය මහත්මයාගේ ‘වසන්තය නිමා විය’
වැඩියෙන්ම දකින්නට සතුටු මිතුරා හෝ මිතුරිය?
මං සමීපව ඇසුරු කරන කිහිපදෙනෙක් ඉන්නවා.
ඔබ වැඩිම සතුටක් ලබන ඇඳුම?
මගේ සිරුරේ හැඩය ඉස්මතු වනසේ ඇඳිය හැකි ගවුම්.
වැඩි සතුටක් ලබන්නෙ මොනවගේ කෑමකින්ද?
දූරියන්වලට මං හරිම කැමතියි.
වැඩිය සතුටු වෙන්නේ තිත්ත රසයෙන්ද, පැණි රසයෙන්ද?
ඔය දෙකෙන්ම නෙමේ. ඇඹුල් රසයෙන්.
දවස තුළ වැඩියෙන්ම සතුටක් ලබන අවස්ථාව?

වැඩ සේරම අවසන් වුණාට පස්සෙ රාත්‍රියට මං හරිම කැමතියි.
වැඩියෙන්ම සතුටක් දැනෙන්නෙ වහිනකොටද? පායනකොටද?
ඇත්තටම වහිද්දි හරිම සෞම්‍ය සිසිලසක් ඇඟට දැනෙනවා නේද? ඒ සතුට ලැබෙන්නෙ නෑනේ පායනකොට දැනෙන රස්නෙත් එක්ක.
ජීවිතයේ වැඩිම සතුටක් ලැබූ දවස?
මගේ පුතා බිහිවුණු දවස.
උදෑසන අවදි වුණු ගමන්ම සතුටක් ලබන්නෙ මොනවගේ දේකින්ද?
කණ්ණාඩියෙන් මගෙ මුහුණ දිහා බැලීමෙන්.
ජීවිතයේ මතෛක් ආපු ගමන ගැන ඔබ සතුටු වන්නෙ මොනවිදිහටද?
මම රංගන ශිල්පිනියක් ලෙස වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසත් ජනතාවගේ මතකයේ රැඳී ඉන්නවා. මං හිතුවටත් වඩා දේවල් මං ලබල තියෙනවා. ඒකම මදිද මට සතුටු වෙන්න.

1

ඉන්දු පෙරේරා