ජවිපෙ තහනම් කළොත් ආයුධ ගන්නවාමයි

අසූතුනේ කිසිම හේතුවක් නැතිව ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. ආයෙත් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන්න ආවොත් නැවත අපි ආයුධ අතට ගන්නව ගන්නවාමයි නලින් හේවගේ ජවිපෙ මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ මැති ඇමතිවරුන්ට අනතුරු ඇඟවීමත් සමගම ඊයේ (12) පැවැති දකුණු පළාත් සභා රැස්වීම උණුසුම් හා ගාලගෝට්ටි සහගත තත්ත්වයකට පත්වූයේය.
තත්ත්වය කොතරම් උද්වේගකර වීද යත් නලීන් හේවගේ ජවිපෙ මන්ත්‍රීවරයා සමග එජාප මන්ත්‍රීවරුන් ද සහයට නැගී සිටීමත්, මහින්ද පාර්ශ්වයේ මැති ඇමැතිවරුන් ඊට එරෙහිව නැගී සිටීමත් නිසා රැස්වීම එසේ ගාලගෝට්ටි සහගත තත්ත්වයකට පත්වූයේය.
දකුණු පළාත් සභාවේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ විවාදය සඳහා ඊයේ පළාත් සභාව රැස්වූයේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙනි.
නලින් හේවගේ ජවිපෙ මන්ත්‍රීවරයා විවාදයට එක්වෙමින් දිගින් දිගටම මහින්ද රාජපක්ෂ පාලනයේ සිදුවූ දූෂණ
වංචා ගැන සඳහන් කරමින් සිදුකළ වාග් ප්‍රහාරයන් සමගම ඊට එරෙහිව මහින්ද පාර්ශ්වයේ මැති ඇමැතිවරුන් රැසක්ම නැගී සිටීමත් සමගම සභා ගැබ දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත්වූයේය.
වීරසුමණ වීරසිංහ අමාත්‍යවරයා, චම්ලි විතානාච්චි, සම්පත් අතුකෝරල, සිංහ සමන්කුමාර ඇතුළු මන්ත්‍රීවරු නැගී සිටිමින් ජවිපෙ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයන්ට විරෝධය පාන්නට වූ අතර බොරු ප්‍රකාශවලින් වැළකී සිටින ලෙසට ඔවුන් ප්‍රකාශ කළහ.
සම්පත් අතුකෝරල (එ.ජ.නි.ප)
තමුන්නාන්සේලාගෙ ජවිපෙ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ නායකයින්, දෙන්නාට යහපාලනය ලබාදීමට කටයුතු කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙදර යවල අවුරුදු 1 1/2ක් වෙනවා රටේ දැවැන්ත වංචා දූෂණ සිදුවෙනවා. ජනතාව පීඩාවට පත් වන බදු බර පටවනවා.
නමුත් පරාජය වූ මහින්ද රාජපක්ෂ නායකයාටම ගහනවා මිස පත්කරපු ආණ්ඩුව කරන වැරදි ගැන හඬ නගන්නේ නෑ මහින්ද මහත්තයට දිගටම පහර ගහනවා. එකක් දෙකක් ආණ්ඩුව පැත්තට දානවා. ජනතාවගෙන් යැපෙන්න මහින්ද මහත්තය ණය අරන් රට විනාශ කළා ණය කළා කියා පහර ගහනවා.
වීරසුමණ වීරසිංහ ඇමැතිවරයා
රට විනාශ කළේ ජවිපෙයි. තේ කර්මාන්ත ශාලා කීයක් ගිනි තිබ්බද බස් කීයක් ගිනි තිබ්බද ?

එවිට 83 කිසිම හේතුවක් නැතිව ජවිපෙ තහනම් කළා. ජවිපෙට දේශපාලනය තහනම් කළා. ආයෙත් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන්න ආවොත් අපි නැවත ආයුධ ගන්න එක ගන්නවාමයි නලින් හේවගේ මන්ත්‍රීවරයා කියා සිටියේය.
නලින් හේවගේ මන්ත්‍රීවරයා සහ මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරයන් අතර දැඩි ලෙස වාග් ප්‍රහාරය සිදුවන අතරතුර ඔහුගේ සහයට විපක්ෂ සංවිධායක එජාප අශෝක ධනවංශද සිල්වා, විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ, ‍පොඩිකඩේ ප්‍රියන්ත, ටී.වී.කේ. ගාමිණි යන මන්ත්‍රීවරුන්ද නැගී සිටීමත් සමග උණුසුම් තත්ත්වය දැඩි වන්නට වුණේය.

o

කමල් විජේහේවා – ගාල්ල