හරක් මරුවාට කළ කම් පළ දුන් හැටි

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා ශ්‍රී විහාරාධිපති නාලන්දේ විමලවංශ හිමියන් ලියා එවූ කතාවකි.

හරක් මැරුවාට කළ කම් පළ දුන් හැටි.

ගවයා යනු මිනිසුන්ට සිටින වටිනාම සම්පතකි. අතීතයේ ධනවත්කම මැනීමට යොදා ගත් එක මිනුම් දණ්ඩක් නම් පුද්ගලයකු සතු ගවයන් සංඛ්‍යාවයි. භාරතීය සමාජයේ මෙන්ම, එම ආභාෂය ලත් ලංකා ජන සමාජයේ ද එය එලෙසම විය. දහස් ගණනක ගව සම්පතක් සිටීම මහත් අභිමානයට හේතුවක් විය. දියණියක ආවාහ විවාහ කර දීමේදී දෑවැද්ද වශයෙන් ගවයන් දීම ද එකල සිරිතකි. හැම නිවසකම ගවයන් කිහිප දෙනෙකු සිටීමෙන් එම නිවසට ආලෝකයක් වශයෙන් සලකන ලදී. එපමණක් නොව ගවයා තම පවුලේම සාමාජිකයකු වශයෙන් සැලකීමට තරම් අතීත ජනතාව ගවයාට ආදරය කළහ. රත්තී, සුද්දී, වයිරා, පොහොරා වැනි නාමයන් පවා තබාගෙන ගවයන් ඇති දැඩි කළෝය. තමන් ඇති දැඩි කළ ගවයකු මිය ගිය පසු භික්ෂූන් වැඩමවා පාංශුකූලය දීමටත්, දානයක් පිරිනමා පිං අනුමෝදන් කිරීමටත් අතීත මිනිසා මැළි නොවීය.

9_SLT_P_13
වෙල් ඉපනැල්ලේ, වැව් තාවුල්ලේ නිදැල්ලේ හැසිරෙමින් තණකොල උලා කන එළ ගවයන් මෙන්ම, මී ගවයන් ද දකින්නට ලැබීම අතීතයේ සුලබ දසුනකි. එහෙත් වර්තමානය වන විට එවැනි ගව සම්පතක් අප රට තුළ දැකීමට නොහැකි වීම මුළු මහත් ජාතියේම අවාසනාවකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි පිට රටින් ගෙන එන කිරි පානය කරමු. අනිකුත් අතුරු ආහාර (පස්ගෝ රස) භුක්ති විඳිමු. පිටරට නිපදවන කිරිවල පෝෂ්‍ය කොටස් අයින්කර ගෙන ඒ වෙනුවට වෙනත් සත්ව තෙල් මිශ්‍ර කර, මේදය, ප්‍රෝටීන යොදා මනහර පැකට්වල අසුරා, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වලින් සිත් ගන්නා අයුරින් ප්‍රචාරය කරමින් හිතූ ගණන්වලට අලෙවි කරන කසලවලට ඇබ්බැහි වීමෙන් නොයෙකුත් ලෙඩ රෝග හදාගෙන රෝහල්වල, වෛද්‍ය මධ්‍යස්ථාන වල පෝලිම් ගැසී සිටීමට තරම් අවාසනාවන්ත තත්ත්වයක් උදාවී තිබෙන බව පෙනෙයි. වටිනා ගව සම්පත අහිමි වීම නිසා නොමිලයේම පසට එක් වූ කාබනික පොහොර නොලැබී, රසායනික පොහොර යොදමින් එහි අතුරුඵල වශයෙන් වකුගඩු රෝග, පිළිකා රෝගවලට ගොදුරුවන සංඛ්‍යාව උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ ගණනට වැටී ඇත. ගව මසට ලොල් වීම නිසා වටිනා ගව සම්පත අපට අහිමි වී ගොස් ඇත.
මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වඩින විට රටෙහි රජතුමා මුව දඩයමෙහි ගොස් සිටි බව ප්‍රසිද්ධ කරුණකි. දෙවැනි පෑතිස් රජතුමා එලෙස දඩයමෙහි ගියේ මාංස ලෝලිත්වය නිසා නොව, විනෝදයටත්, දඩ ක්‍රීඩාව වශයෙනුත් පමණි. එසේ ක්‍රීඩාවෙහි යෙදෙන අතර කවර අවස්ථාකවත් තණකොළ කමින් සිටින, දිය බොමින් සිටින, පැටවුන්ට කිරිදෙන, ගැබිනි සතුන්, කුඩා සතුන් පිටුපස එලෙව්වේ නැත. රංචු වශයෙන් සිටින සතුන්ට හඬක් නංවා දුවන්නට හැර සුදුසු සතෙකු තෝරා ගෙන පසු පස හඹාගොස් ඊතලය එල්ල කිරීමට තරම් විනයක් තිබුණි. එහෙත් වර්තමානයෙහි සතුන් ඝාතනය කරන්නේ සංවිධානාත්මකවයි. ව්‍යාපාරයක් වශයෙන් ගව ඝාතනය සිදු කරයි. දිනපතා උදෑසන ගවයෝ සිය දහස් ගණනක් ව්‍යාපාරිකයන්ගේ සුඛ විහරණය වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කරති. ඇතැම් ආගමිකයන්ට සතුන් ඝාතනය කර මස් අනුභව කිරීමට එම ආගමික ශාස්තෘවරුන් අනුමැතිය දී ඇති බව පැවසෙතත් එවැන්නක් පිළිබඳ දැනගත නොහැක. වෙනත් ආහාර නොමැතිව කුසගින්නේ මිය යාමට සිදුවන අවස්ථාවක සතෙක් ඝාතනය කර අනුභව කිරීමට අනුමැතිය දී ඇතත්, ව්‍යාපාරයක් වශයෙන් සත්ත්ව ඝාතනය කිරීමට අනුමැතියක් ලැබී නැත. එසේ අනුමැතිය දී ඇත්නම් අසීමිත කරුණාවන්ත වූද, අපරිමිත දයාවන්ත වූද ආදී වශයෙන් එම ශාස්තෘවරුන් හැඳින්වීම සුදුසුදැයි ප්‍රශ්න කිරීමට සිදු වෙයි.
කෙසේ වෙතත් බුදු දහම අනුව සත්ව ඝාතනය බරපතළ පාප කර්මයකි. මිනිසා මෙන්ම අන් සතුන් ද මෙම මිහිතලය මත විසිය යුතුයි. පස් පව්වල පළමුවැන්න ලෙස බුදු හිමියන් පෙන්වා වදාළේ සත්ව ඝාතනයයි. එය වනාහී මෙලොව පරලොව විපාක දෙන පාප කර්මයකි. සතුන් ඝාතනය කළ පුද්ගලයන්ට අත්වූ දුක්ඛිත තත්ත්වයන්ට නිදසුන් වශයෙන් ගත හැකි සිදුවීම් බොහෝ ඇත. එක් සත්‍ය කථා පුවතක් ඉදිරිපත් කරන්නේ එම පුද්ගලයාට අපහාස කිරීමට නොව, එමගින් අප කාටත් කිසියම් පාඩමක් ඉගෙන ගත හැකිවේයැයි අදහසිනි.
කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා නගරයකි. එහි ගව මස් කඩයක් ඇත. දිනපතා ගවයන් දෙතුන් දෙනකු ඝාතනය කර අලෙවි කෙරේ. ඝාතනය කිරීම සඳහා ගවයන් ගෙන එන්නේ රජරට ප්‍රදේශයෙනි. සතුන් විශාල සංඛ්‍යාවක් පටවාගෙන එන බැවින් ඇතැම්විට තදබදය නිසා වාහනය තුළදීම කීප දෙනකු මිය යන අවස්ථා ද ඇත. මෙසේ ගෙන එන සතුන් මස් කඩය ආසන්නයේම බැඳ තබයි. ගවයන්ට තණකොළ දෙන්නේ සුළු ප්‍රමාණයකි. ගවයෝ කුසගින්නේ සිටිති. එපමණක් නොව ජලය දෙන්නේ ද සීමිත ප්‍රමාණයකි. ඝාතනය කිරීමට නියමිත ගවයාට දින දෙකකට පමණ පෙර සිට ජලය නොදෙයි. එයට හේතුව වශයෙන් දැනගන්නට ලැබුණේ මස්වල සවිමත් බව අඩු වී ලිහිල් බවට පත්වීමට එසේ කරන බවයි.
මෙසේ අනන්ත වධ හිංසාවලට ලක් කරන ගවයා ඝාතනය කරන මඩුවට පහසුවෙන් ඇදගෙන ඒමට ද හැකියාව ලැබෙයි. අනතුරුව පාද සතර ගැට ගසා බිම පෙරළයි. එසේ බිම පෙරළන ගවයාගේ හිස ඉහළට ඔසවා, තියුණු පිහියකින් උගුරු දණ්ඩ කපයි. එවිට කැපූ ගෙලෙන් රුධිර ධාරාවක් විහිදෙයි. එම රුධිරය බඳුනකට එකතුකර ගනියි. ඒවා කැටි ගැසීමට සලස්වා, රසවත් ආහාරයක් පිළියෙල කරගෙන අනුභව කරයි. මෙසේ කාලයක් තිස්සේ කරගෙන ගිය ගව මස් ව්‍යාපාර හිමියාගේ පවුලට අත්වූ ඉරණම ද ඉතාමත් ඛේද ජනක විය. ඔහුට දරුවන් කිහිප දෙනෙක්ම සිටිය අතර එහි විශේෂත්වය නම් එම සියලුම දරුවන්ගේ මුහුණුවල හැඩය ගව මුහුණක් සේ දිස්වීමයි. එය දැකීමට අප්‍රසන්න දර්ශනයකි. ඔහු කාලයක් මෙම ගව මස් ව්‍යාපාරය කරගෙන ගිය අතර දිනක් මත්වතුර පානය කිරීමට තැබෑරුමට ගියේය. එහිදී වෙනත් අයකු සමග ඇතිවූ සුළු ආරවුලක් දිග දුර ගොස් අනෙකා එල්ල කළ පිහි පහර ඔහුගේ ගෙල හරහා වැදුණි. බෙල්ලෙහි තුවාලයෙන් ලේ දහරා විදින්නට විය. එතැනම බිම වැටුණ හෙතෙම විනාඩි කිහිපයක් ගැහි ගැහී සිට දිව එළියට දමාගෙන මිය ගියේය. එහි ද පුදුමය නම් මිය ගිය පසු ඔහුගේ මුහුණ ද ගව මුහුණක් ලෙසින් දිස් වීමයි. මෙය දුටු බොහෝ දෙනා පැවසුවේ ඔහු කළ අකුසලයේ විපාක මේ ජීවිතයේදීම ලැබුණ බවයි. එපමණකින් නොනවතියි. යම් දිනක හෙතෙම දෙවියන් අබියසට හෝ යම රජු අබියසට යනු ඇත. එහිදී විමසන ප්‍රශ්නවලට කෙසේ නම් පිළිතුරු දිය හැකි ද?

 
ගාල්ල ධනංජනී ජයසිංහ ලියා එවූ කතාවකි.

අජාසත් පුතෙකුගේ ඉරණම.

බස්නාහිර පළාතේ එක්තරා ගමක ජීවත් වූ සමන් සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුත් පවුලක කුලී වැඩ කරමින් දරුවන් පෝෂණය කරනා මව්පිය දෙපළකට දාව උපන්නෙකි. ඔහු පවුලේ බඩපිස්සා වූ බැවින් අනෙක් දරුවන් පස් දෙනාටම වඩා මා පියෝ සමන් කෙරෙහි විශේෂ ඇල්මක්, සෙනෙහසක් දැක්වූහ. ගමේ ගොඬේ දරුවන් හා එක්වී කෙළි දෙලෙන් ඔහු නිතර කාලය ගත කළේය.
එහෙත් වෙනත් දරුවන් මෙන් නොව “සමන්” බාලවියේ පටන්ම දරදඬු, අකීකරු ගති ඇත්තෙකු විය. විටෙක හේ ගම් වැසියකුගේ හේනකට හෝ කුඹුරකට පැන වගා හානි කරයි. තවත් විටෙක කූඩුවල ඇති කුරුලු බිත්තර බිම දමා පොඩිකරයි. තවත් විටෙක බල්ලන්, හරකුන් වැනි සතුන්ට පොලු මුගුරුවලින් පහර දෙයි. මෙවන් පාපක්‍රියා සමග වයසින් වැඩුණු “සමන්” නිසි අධ්‍යාපනයක් ද නොලැබූ අතර ඔහු වයසින් වැඩෙත්ම ඔහුගේ නොමනා ක්‍රියාකලාප ද ඔහුත් සමගම වැඩුණේය. ස්ථීර රැකියාවක්, නොලැබූ සමන් අතට අසුවන ඕනෑම රැකියාවක් එහි යුතු අයුතු බව නොසලකා සිදු කළ මුත් ඔහුගේ සොයුරු සොහොයුරියෝ උසස් අධ්‍යාපනය ලබා වැදගත් රැකියාවල නිරත වූහ. එහෙත් ඔවුන්ට ද තම උපන් ගම හැරදා වෙනත් ප්‍රදේශවල පදිංචිය සඳහා යාමට සිදුවූයේ සිය සහෝදරයා වූ සමන්ගේ නොමනා හැසිරීම් රටාව නිසාය.
අනෙක් දරුවන් පිටගම් ගිය ද මව්පියන් දෙදෙනා වත්ත පිටියේ වැඩකරමින් සමන් සමග මහගෙදර රැඳුණේ කෙසේ හෝ තම බඩපිස්සා යහමගට ගැනීමේ අභිලාසයෙනි. එහෙත් සිදුවූයේ එහි අනෙක් පැත්තයි. පළමුව ගමට පමණක් හිසරදයක් වූ සමන්ට මව්පියන් නිතර දෙවේලේ අවවාද අනුශාසනා කිරීම හමුවේ ඔහු නාගයෙකු මෙන් කිපුණේය. නොසරුප් වදනින් මාපියන් ඇමතීමෙන් ආරම්භ වූ එම කෙනෙහිළිකම් ටික දිනක් ගතවන විට ඔවුන්ට පහර දෙන තත්ත්වය දක්වා උත්සන්න විය. දිනක් සමන් වෙරි මතින් පැමිණි විට නිවසේ සිටි බල්ලා ඔහුට බිරුවේ යැයි කෝපයට පත්වී බල්ලා බෙල්ලෙන් අල්ලා හිරවනසේ ගසක බැඳ උගේ කටට නටන උණුවතුර වක්කරන්නට සැරසුණු අතර එය දුටු සමන්ගේ මව එසේ නොකරන ලෙස ඔහුට බැණ වැදුණේය. එයින් කෝපයට පත්වූ සමන් මවට බැණවැදී ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගේ වටා ඇදගෙන ගොස් ඉඳුල් වතුර හැළියක් ඇගේ ඔලුවේ හැලූ අතර එය වැළැක්වීමට පැමිණි පියාට ද ඔහු පිහියකින් පහර දුන්නේය.
දින ගණනාවක් රෝහල් ගත වී ප්‍රතිකාර ලැබූ මාපියෝ තවදුරටත් මෙවන් දුක් ඉවසීමට නොහැකි වූයෙන් වැඩිමහල් දරුවන්ගේ නිවෙස් කරා ගියෝය. මහගෙදර ඉතිරි වූයේ සමන් පමණි. මව්පියන්ගේ නික්මීම ඔහුට රජ පදවිය ලැබුණාක් මෙන් විය. ඔහු නිදහසේ හොර අරක්කු පෙරමින්, මත්ද්‍රව්‍ය භාවිතා කරමින්, පවිටු මිතුරන් හා එක්වී කාලය ගත කළේය. දිනක් සමන් මිතුරන් සමග මධුවිතෙන් සප්පායම් වීමෙන් අනතුරුව නිවස බලා පැමිණීමට ඔහුගේ යතුරුපැදියට නැගුණේය. වෙරිමත නිසා අතපය අප්‍රාණික ඔහුට පැමිණීමට හැකිවූයේ මීටර කිහිපයක් පමණි. ඉදිරියෙන් පැමිණි විශාල ලොරියක් ඔහුගේ බයිසිකලයේ හැපුණේය. ඒ අනතුරින් ඔහුගේ දෑතේම අස්ථි බිඳී ගිය අතර එක් අතක් වැලමිටට ඉහළින් කපා ඉවත් කරන්නට සිදු විය. තමා හැදූ වැඩූ මව්පියන්ට පෙර දිනෙක පහර දී තුවාල සිදු කිරීමේ පවට එසේ ඔවුන්ට පහර දුන් අත් දෙකම කැඩී ගොස් අවසානයේ එක් අතක් අහිමිව ආබාධිත වූ ඔහුට පිහිටක් වීම සඳහා රෝහල වෙත පැමිණියේ ද මව්පියන් දෙදෙනා පමණි.

 
අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.

අනුන්ට කළ විනය තමන්ට පල දෙයි.

යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කර්ම ආදියට චිර ප්‍රසිද්ධ ප්‍රදේශයක කුඩා ගම්මානයකි. එහි පවුල් විස්සක් පමණ විසූහ. ඔවුන’තුරින් වැඩි දෙනෙකුගේ ජීවන වෘත්තිය වූයේ ඉහත කී ගණයේ යහපත් කටයුතුය. පරම්පරාවෙන් උරුම වූ එම අගනා ශිල්පය රක්ෂණය කොට මතුපරපුරට උරුම කරදීමේ අමිල මෙහෙවර ද ඔවුන්ගෙන් ඉටු විය. සේවාලාභීන් තලා පෙළා තම උදර පෝෂණය තර කරගැනීමේ අරමුණින් බැහැර වූ ඔවුහු එම ශිල්පය පරහිත සුව පිණිස භාවිතා කළෝය. එබඳු උත්තමගුණයෙන් පිරිපුන් ඔවුන් සතුව කෙනෙකුට ක්ෂණයකින් අයහපත කැඳවීමට තරම් සමත් යන්ත්‍ර මන්ත්‍ර තිබුණ ද, අත්හදා බැලීමට තරම්වත් යොමු නොවීය. එනිසා බොහෝ ජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකි විය. ධනය රැස් කොට මහේශාක්‍ය වීමට නොව, සරල අල්පේච්ඡ ජීවිතය ධනය කොට ගත්හ.
එගම වැසි සියදෝරිස් නැමැත්තා ඉහත දැක්වූ ශිල්ප ශාස්ත්‍රයෙහි කෙළ පැමිණියෙකි. දැහැමි සරල අයෙකු වූ හෙතෙම බොහෝ අයගේ ප්‍රසාදයට පත් වූවෙකි. පුතුන් තිදෙනාට ගුරු මුෂ්ටි නොතබා ශිල්පය ලබා දුනි. මොවුන් අතුරින් බාලයා හැර සෙසු දෙදෙනා පියාගෙන් ලද ශාස්ත්‍රය යහපත් කටයුතුවලට යෙදවීය. එහෙත් බාලයා කුඩා කල සිට දඩබ්බරයෙකි. අණක් ගුණක් නැත. පියා සතුව ට්‍රන්ක පෙට්ටි දෙකක අසුරා තිබූ යන්ත්‍ර මන්ත්‍ර ලියූ පුස්කොළ පොත් පිරික්සා බැලීමේ නොතිත් ආශාවෙන් පෙළිණි. එහෙත් ඉන් එක් පෙට්ටියක් විවෘත කිරීමටවත් පියාගෙන් අවසරයක් නොලැබුණි. එහි ඇත්තේ කෙනෙකුට විපත කැඳවිය හැකි තරම් ප්‍රබල වූ අයහපත් මන්ත්‍ර බව බාල පුතු දැන සිටියේය.
විවාහ වූ වැඩිමහල් පුත්තු දෙදෙනා වෙනම නිවාස දෙකක පදිංචිව සිටිති. මහගෙදර හිමි වූ බාල පුතා පියා සමග එහි වෙසෙයි. විවාහයක් කර ගත්තේ ද නැත. කලකට පසු පියා මිය ගියේය. පියා සතුව තිබූ අගනාම වස්තුව එනම් ට්‍රන්ක පෙට්ටි දෙක බාල පුතා සතුවිය. විවෘත කිරීමටවත් පියා අවසර නොදුන් ට්‍රන්ක පෙට්ටියේ තිබූ පුස්කොළ පොත් සිත්සේ පරිහරණය කළේය. එහි සුං වූ ගණයේ කොඩිවින අත්හදා බැලීය. කිරිගහට ඇන්නා සේ සාර්ථකය. ඒ කෙරෙහි සිත බැඳුණු මොහු විෂ බැඳීම්, ඉරි පැන්නුම්, භූමි පාලු, වශී ගුරුකම් ආදිය නරක දේ කරන්නෙකු ලෙස වැඩිකල් නොයා ගම පුරා ප්‍රසිද්ධ විය. අණක් ගුණක් නැති මෙම පෝරිසාදයාගෙන් වසන්වී සිටීමට බොහෝ අය පුරුදු වූහ. විශේෂයෙන් තුවාල ඇති අය, ගැබිනි ළඳුන්, ඇහැට කනට පෙනෙන රුවැති කතුන් මොහුගෙන් වඩාත් පරෙස්සම් වූහ.
ගමේ සිටි එක් විවාහක කාන්තාවක් මෙම තැනැත්තා තමා කෙරෙහි සැලකිළිමත් වන බව ඉඟියෙන් තේරුම් ගත්තාය. ඔහුගෙන් වසන් වීම මැනවැයි සිතූ ඇය කොහේ යතත් තව අයෙකු සමග යාමට පුරුදු වූවාය.
කලක් ගතවිය. දෙවන වරට ද ඇය ගැබ් ගත්තාය. ඉහත කී නරුමයාගෙන් වඩාත් පරෙස්සම් වීමට ඇය පියවර ගත්තාය. ඔහුට නොපෙනී සිටීමට තැත් කළාය. එම පුද්ගලයා ද මෙම කත කෙරෙහි ඇති කරගත් සිත වෙනස් නොකළාය. තමාට එකඟ නොවූ ඇයට විපතක් කරන අදහසින් ඇය යන එන තැන් ගැන සෝදිසියෙන් සිටියේය.
දින බොහෝ ගණනකට පසු, මෙතෙක් පැතූ අවස්ථාව උදා විය. දිනක් ඇය ඇළට ගොස් දිය නාගෙන පැමිණෙන අයුරු කොඩිවිනකරු දුටුවේය. ඔහු කැලෑ රොදට වසන් විය. කිසිවක් නොදත් කාන්තාව ඔහු සිටි ස්ථානය පසුකොට ගියාය. ජයග්‍රාහී සිනාවක් මුවට නගා ගත් එම පාපියා සැඟවුණු තැනින් මෑත් වූවේය. ඊට මොහොතකට පෙර ඇයට පෑගෙන සේ වැලියට සැඟවූ තඹ පතක ඇඳි කාන්තා රුව ගෙන පා ඉක්මන් කොට ගෙදර ගියේය.
මල් බුලත් තටුවක් සකස් කළ ඔහු තඹ පත එහි තබා මතුරමින් දුම්මල දුම් ගැසීය. ටික වේලාවකින් එය නිම විය. තඹ කොළය පිටතට ගත්තේය. දෙහි කටුවක් එම කාන්තා රූපයේ නාභිය මත තබා තද කළේය.
නිවසට පැමිණි කාන්තාව සෝදාගෙන ආ රෙදි වැලට දමා ගෙතුළට පැමිණ දිවා ආහාරය පිළියෙල කරන්නට සූදානම් වූවාය. උදරය දෙසින් මතු වූ සියුම් වේදනාව පිට කොන්ද දක්වා පැතිර ගියේය. වැඩි වේලාවක් ගත නොවී ඉවසිය නොහැකි වේදනාවක් බවට පත්විය. එහෙත් සුළු මොහොතකින් වේදනාව පහ වී යථා තත්ත්වයට පත්වූවාය. දිනකට දෙතුන් විටක් ඇය මෙසේ වේදනාවට පත් වන්නීය. පෙර කී පාහරයා ජීවම්කර ගත් කාන්තා රූපයට වේදනාව ඇති කරන හැම විටම මෙම කත වේදනාවට පත්වන බව දැන සිටියේ ඔහු පමණි. වෛද්‍යවරයෙකු හමු වුව ද, පවසා තිබුණේ ගැබිනියට අසාමාන්‍ය තත්ත්වයක් නොපවතින බවයි. වෛද්‍ය ශාස්ත්‍රයට ද හසු නොවන මෙම රෝගී තත්ත්වයට හේතුව පිළිබඳව සැක කළ වැඩිහිටියෝ යකදුරෙකු ලවා ශාන්ති කර්මයක් කර වූහ. හදිසියේ අසනීප වූ ඇය රෝහල් ගත කෙරිණි. සත් මස් වියැති මළ දරු උපතක් සිදුවූ අතර වෛද්‍යවරුන්ගේ දක්ෂතාවයෙන් මවගේ දිවි රැකුණි.
කලක් ගතවිය. කොඩිවින කාරයාගේ උගුරේ වේදනාවක් ඇතිවිය. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොවීය. කෙටි දිනකින් දිය පොදක්වත් උගුරෙන් පහළට දැමිය නොහැකි තරමට වේදනාව උග්‍රවිය. කෑ ගසා වේදනාව තුනී කර ගැනීමට ද නොහැකිය. රෝහලේ ඇඳ මත වැතිර වේදනාවෙන් දඟලන ඔහු රැකබලා ගැනීමට පවා කිසිවෙකු නොවීය.
වෛද්‍ය පරීක්ෂණ වලින් ද රෝගය නිශ්චය කරගත නොහැකි වූ හෙයින් නිසි ප්‍රතිකාරයක් ද නොලැබුණි. එබඳු තත්ත්වයක් යටතේ රෝහලේ සිටීමේ ඵලයක් නැතැයි සිතූ ඥාතීහු රෝගියා ගෙදර ගෙන ආවෝය. කෑමක් බීමක් ඔසුවක් නැතිව ගෙදර ඇඳ මත වැතිර සිටින කොඩිවින කාරයාගේ මුවෙහි මහ තුවාලයක් ඇතිවිය. ඊට ද නිසි ප්‍රතිකාර ලබා දීමට කිසිවෙකු ඉදිරිපත් නොවිණි. පසු දිනක එම නිවසට ගිය ඥාතියෙකු දුටුවේ මිය ගොස් සිටි කොඩිවින කාරයාගේ මුවෙන් පනුවන් පිටතට පැමිණෙන ආකාරයයි.
m5