කුරුණෑගල පොලිස් නිලධාරියකු මරා දැමූ ත්‍රාසජනක සිද්ධියේ මුළ සිට අගට

කුරුණෑගල මාස්‌පොත ප්‍රදේශයේ පැරඩයිස්‌ නමැති හෝටලයේ වාහනයක්‌ සොරාගත් පිරිසක්‌ ලැගුම් ගෙන සිටින බවට 119 හදිසි ඇමතුම් ඒකකය හරහා කුරුණෑගල පොලිසියට තොරතුරක්‌ ලැබී තිබුණේ පෙරේදා රාත්‍රි 10 ට පමණය.

ඒ වන විට රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි කුරුණෑගල පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්කට මෙම සැකකටයුතු කණ්‌ඩායම පිළිබඳව පරීක්‍ෂා කරන ලෙස පොලිසිය දැනුම් දී ඇත.

ඒ අනුව උප පොලිස්‌ පරීක්‍ෂක දසනායක ඇතුළු නිලධාරීන් පැරඩයිස්‌ හෝටලය වෙත ගොස්‌ එහි කාමරයක නිදා සිටි පුද්ගලයන් දෙදෙනකු අවදි කර ඔවුන් පරීක්‍ෂා කර තිබෙනවා. මෙම පුද්ගලයන් පැමිණි මෝටර් රථයට අදාළ ලියකියවිලි පරීක්‍ෂා කළ පොලිස්‌ නිලධාරීන් ඉන් සෑහීමට පත් නොවූ අතර, එම රථය පොලිසියට රැගෙන යැමට සූදානම් වී ඇත.

ඒ අවස්‌ථාවේ එහි සිටි එක්‌ පුද්ගලයෙක් අඳුරේම පලා ගොස්‌ ඇති අතර, අනෙක්‌ පුද්ගලයා ද පලා යැමට උත්සාහ කර ඇත. එහිදී පොලිස්‌ නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරද්දී ඔහු සඟවාගෙන සිටි පිස්‌තෝලයෙන් පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තබා ඇත.

වෙඩි ප්‍රහාරයෙන් උප පොලිස්‌ පරීක්‍ෂකවරයා මියගිය අතර අනෙක්‌ නිලධාරීන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

වෙඩි තැබීම සිදුවන අවස්‌ථාවේ උප පොලිස්‌ පරීක්‍ෂක දසනායක ඇතුළු පොලිස්‌ නිලධාරීන් සිව්දෙනකු සිට ඇති අතර ඔවුන් සියලු දෙනා ආයුධ සන්නද්ධව සිට ඇත. එහෙත් අනපේක්‍ෂිතව මෙම වෙඩි ප්‍රහාර එල්ල වීම නිසා එම නිලධාරීන්ට සන්නද්ධ පුද්ගලයාට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අවස්‌ථාවක්‌ ලැබී නැත.

මෙම කොල්ලකරුවන් මාස්‌පොත පැරඩයිස්‌ හෝටලය වෙත පැමිණ තිබූ මෝටර් රථය පොලිස්‌ භාරයට ගත් අතර එම වාහනය කුලී පදනම මත වාහන ලබා දෙන ආයතනයකින් ලබා ගත් එකක්‌ බව පසුව හෙළිවිය. මොරටුව ලුනාව ප්‍රදේශයේ විහාරස්‌ථානයක හිමි නමකට අයත් මෙම මෝටර් රථය උන්වහන්සේ විසින් වාහන කුලියට ලබා දෙන ආයතනයකට පවරා තිබූ බව පොලිසිය අණාවරණය කරගෙන ඇත.

කොල්ලකරුවන් මුලින් මෙම මෝටර් රථය මසකට රුපියල් එක්‌ලක්‍ෂ විසිදහසක කුලී පදනම මත ලබාගෙන තිබී ඇති අතර, පසුව ඊට මුදල් නොගෙවා තම පාවිච්චියට රැගෙන ගොස්‌ තිබූ බව පොලිසිය පවසනවා.

වාහන කුලියට ලබා දෙන ආයතනයේ හිමිකරුවන් එම මෝටර් රථයේ ජීපීඑස්‌ යන්ත්‍රයක්‌ සවිකර තිබී ඇති අතර වාහනය රඳවා ඇති ස්‌ථානය ඔවුන් ඒ මාර්ගයෙන් හඳුනාගෙන ඇත. වාහනය පිළිබඳව පොලිසිය වෙත 119 ඔස්සේ තොරතුරු ලබා දී ඇත්තේ වාහන කුලියට ලබා දුන් ආයතනයේ හිමිකරුවන් විසින් ඒ අනුවය.

මෝටර් රථය රැගෙන ආ කොල්ලකරුවන් නවාතැන් ගෙන සිටි පැරඩයිස්‌ හෝටලයේ කාමරය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී විදේශයක නිෂ්පාදිත පිස්‌තෝලයක්‌, ජීව උණ්‌ඩ තොගයක්‌ සහ ඇඳුම් බෑග් දෙකක්‌ පොලිසිය මගින් සොයා ගෙන ඇත. මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී ජංගම දුරකථන 16 ක්‌, කාන්තා බෑගයක්‌. ජීව උණ්‌ඩ තොගයක්‌ සහ ව්‍යාජ වාහන අංක තහඩු හතරක්‌ ද සොයා ගෙන ඇත.

පොලිස්‌ නිලධාරීන්ගෙන් මිදී පලා ගිය පුද්ගලයා මාතර තුෂාර නමැත්තකු බවත් හඳුනාගෙන ඇති අතර පලා යමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තැනැත්තා මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන “රොහා“ නමැති පාතාල නායකයකු බවට හඳුනාගෙන ඇත.

image

 

neth