ආසිරි රෝහල වසර ගණනාවක් පුරා කළ නීලකාස වංචාවක් මෙන්න..!

ප්‍රකට පුද්ගලික රෝහලක් වූ ආසිරි පෞද්ගලික රෝහල දීර්ඝ කාලයක් තිස්සේ රටත් ජනතාවත් නොමග යවමින් නීච වංචාවක යෙදී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

මෙකී නීච වංචාව නම් තමන් බදු සහන ලබා ගැනීම සඳහා ප්‍රකාශ කර සිටි ජනතා සේවය කිසි දිනෙක ඉටු නොකර හිඳිමින් බදු සහනය ලබා ගැනීමයි.

ආසිරි පෞද්ගලික රෝහල සංවර්ධනය කිරීමේ දී ඉදිරිපත් කළ ව්‍යාපෘතිය අනුව ඒ සඳහා අවශ්‍ය සියළු වටිනා ඉඩ කඩම් ලබා දී ඇත්තේ ආණ්ඩුවේ ඉඩම් හෙවත් මහජනයාගේ ඉඩම් වලිනි. ඒ සියල්ල ලබා දී ඇත්තේ සත පහක් හෝ අය නොකර නොමිලේය.

ඒ මදිවාට බදු විරාමයක් ද ලබා දී ඇත. දශක දෙකකට ආසන්න කාලයක් සඳහා ආණ්ඩුව බදු විරාමයක් ලබා දී ඇත්තේ අන් කිසිවක් නිසා නොව ඒ වෙනුවට ආසිරි රෝහල විසින් දුප්පත් මහජනතාවට නොමිලේ විශේෂිත සේවයක් සපයන බවට ශපථ කිරීම නිසාය.

ඒ නම් රෝහලේ ඇඳන් වලින් සියයට 10 ක් දුප්පත් මහජනතාව වෙනුවෙන් වෙන්කර නොමිලේ සේවය සපයන බවට දුන් පොරොන්දුවයි. එසේ පොරොන්දු වී ඇත්තේ ආයෝජන මණ්ඩලයට ය.

එසේ වී නමුත් ආසිරි පෞද්ගලික රෝහල තමන් විසින් දුන් පොරොන්දුව ඉටු නොකර බදු විරාමයේ වාසිය පමණක් වසර ගණනාවක් තිස්සේ ලබා ගෙන තිබේ.

එනම් සියයට දහයක් ඇඳන් සහ ප්‍රතිකාර දුප්පත් රෝගීන් සඳහා වෙන්කරනවා තබා පැරසිටිමෝල් පෙත්තක් හෝ දුප්පත් රෝගියෙකුට නොමිලේ ලබා නොදී බදු විරාමයේ වාසිය භුක්ති විඳීමයි.

මේ නීච වංචාව පිළිබඳ ප්‍රථමයෙන් හෙළි වී ඇත්තේ ආයෝජන මණ්ඩලයේ නව සභාපති ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතාට වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් අදාල නීතිමය පියවර ගැනීමට සූදානම් වේ. මේ පිළිබඳව මහජනතාව දන්නා තොරතුරු ලංකා ඊ නිව්ස්  වෙත ලැබෙන්නට සලස්වන මෙන් ඉල්ලා සිටින අතර ඉදිරියේ දී මේ නීලකාස වංචාව සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ගෙන එන්නෙමු.