පුරාවිද්‍යා නිලධාරීන් පලවා හැරීමෙන් දඹුලු චිත්‍ර අනතුරේ

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරයුතු ක්‍රියාත්මක කිරීමට බාධා ඇති වීම තුළින් අද වන විට ලෝක උරුමයක් ලෙස නම් කර ඇති දඹුලු විහාරයේ චිත්‍ර රැක ගැනීම අවධානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බව පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රසන්න බණ්ඩාර මහතා පවසයි.
අද(26) මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රසන්න බණ්ඩාර මහතා මෙම අදහස් පළ කර සිටියේය.
මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නඩත්තු කටයුතු සඳහා සිටි නිලධාරීන් පලවා හැරීමට කටයුතු යොදා ඇති බවත් එම තත්ත්වය තුළ මෙම ගැටළුකාරී තත්ත්වය උද්ගත වී ඇති බවත් ප්‍රසන්න බණ්ඩාර මහතා කියා සිටියේය.
1890 වසරේ දී දඹුලු විහාර සංකීර්ණය ආරම්භ කර ඇති අතර අනතුරුව 1957 අගෝස්තු 30 වන දින ගෙන එන ලද පුරාවිද්‍යා පනතත් මඟින් එය මුළුමනින්ම ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර තිබේ.
ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව සළකා බලා පසු කාලීනව යුනෙස්කෝ සංවිධානය විසින් 561 වන සංස්කෘතික ලෝක උරුමය ලෙස මෙය නම් කර ඇත.
කෙසේ වෙතත් මේ වන විට චිත්‍රවල පෙති ගැළවී යාම, වර්ණ සංයුතිය කුඩු බවට පත්ව තිබීම, බදාම තෙත බරිත වීම හා චිත්‍ර ඉරි තලා තිබීම වැනි කරුණු රැසකට මුහුණ දී සිටින බවත් ඒ සඳහා අවශ්‍ය පිළියම් වහාම ගත යුතු බවත් ප්‍රසන්න මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම චිත්‍ර සංරක්ෂණය කිරීම සඳහා වසර 7ක් හෝ 8 ක කාලයක් ගත වන බවත් ඒ සඳහා ස්වාමීන් වහන්සේලාගේ නොමද සහයෝගය ඉල්ලා සිටින බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.