හොරෙන් කුරහන් කැපූ කාන්තාවන්ට යැවූ අංගම

කිසිදු ශාරීරීක සපර්ශයකින් තොරව මිනිසුන් මරා දැමිය හැකි ගුප්ත මන්ත්‍ර ශාස්ත්‍රයක් වෙන අංගම් පිළිබඳව තව දුරටත් කරුණු සොයා බැලීමේ දී  අනාවරණය වූයේ එකල අංගම් වලින් මිනිසුන් රෝගී කර හෝ මරා දැමූ ගුරුන්නාන්සේ කෙනෙකුට එරෙහි වූ කාන්තාවන් හතර දෙනෙකු අංගම් වලින් මිය ගිය ආකාරයයි.


උතුරු වැව්ගම්පත්තුවේ පරගහකැලේ ගමේ පදිංචි වනසිංහ මුදියන්සේලාගේ සුදු බණ්ඩා (75)ගුරුන්නාන්සේ අංගම් පිළිබඳව ඇසූ දුටු මෙන්ම එම ශාස්ත්‍රය ප්‍රගුණ කළ අයෙකි. එහෙත් කිසිදු දිනෙක කිසිවෙකුට එරෙහිව එය භාවිතා නොකළ බවත් එවැන්නන් සුව පත් කරන්නට කටයුතු කර ඇති බවත් සඳහන් කළේය. අංගම් පිළිබඳව මෙවරත් කරුණු අනාවරණය කළ හෙතෙම ඉහත  කී කාන්තාවන් හතර දෙනාගේ විස්තරය ගෙන හැර දැක්වූයේ මෙසේය.

 

“මේ සිද්ධිය වුණේ මට වයස අවුරුදු හත අටේ දී වගේ. අපේ දෙමව්පියෝ මේවා කතා වෙනවා. මට ඇහිලා තියෙනවා. ඒ නිසා ම ඒ කාලේ ඕවා ගැන මම ටිකක් උනන්දු වුණා. ඒ නිසාමයි පසු කාලෙක අංගම් ශාස්ත්‍රය ඉගෙන ගත්තේ.මගේ සියලාත් ඕවා කරලා තියෙනවා. ඉතින් අපි ඒ කාලේ හිටියේ නිකවැටිය කියන ගමේ. ඔය ගමේ හිටියා වෙදරාල කියලා ගුරුන්නාන්සේ කෙනෙක්. වෙද කටයුතු වගේම අර මන්ත්‍ර ශාස්ත්‍ර වැඩත් කළා. මඩුලන්දේ  මගේ බාප්පත් තාත්තත් මෙයාගෙන් තමා ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ. අංගම් එහෙමත් ඉගෙන ගත්තා.

ඉතින් මේ වෙදරාල ගුරුන්නාන්සේ අංගම් කාරයෙක් හොඳ වැඩ නම් නෙවෙයි කළේ. ඒ කාලේ අපේ ගම් වල කයියට හේන් වල වැඩ කරනවා. ඒ කියන්නේ අත් උදව්වට හේන් වල වැඩ කරනවා. දවසක් ඔය අංගම් ගුරුන්නාන්සේගේ හේනට යාබ ද හේනේ කුරහන් කපලා තියෙනවා. එහා හේනේ මායිමේ තිබුණ කුරහන් කරල් ටිකකුත් මේ කයියට ආ ගෑනු කීප දෙනෙක් කපලා තියෙනවා. ඉතින් මේ මනුස්සයා එතැනින් යන ගමන්  ‘‘හෝ’’ ‘‘හෝ’’  මගේ කුරහනුත් කපලා තියෙන්නේ කියාගෙන ගියාලු. එහෙම කියාගෙන ගිහින් වැඩි දවසක් යන්න කළින් අර ගෑනු දෙතුන් දෙනාට අංගම් ඇරලා තියෙනවා. අංගම ඇරපු දා ඉඳලා විවිධාකාරයේ ලෙඩ රෝග හැදුණු ඒ දෙතුන් දෙනා වැඩි දවසක් යන්න කළින් මැරුණා. අඩුම ගානේ ගුරෙක් ගෙනල්ලා සනීප කරන්නවත් කාලයක් ලැබුණෙ නෑ.

ඉතින් ඔය විදිහට මේ ගුරුන්නාන්සේගෙන් ගමට හරියට කරදර නිසා ගෑනු හතර දෙනෙක් එකතු වෙලා ඉන්න අවස්ථාවක දී මේ ගුරුන්නාන්සේගේ ව්‍යාංජන වලට ජාපාල ඇට කුඩු කරලා දාලා දුන්නා. මේ කෑම කෑව ගුරාට එදා ඉඳන් බඩ යන්න  පටන් ගත්තා. ගුරා කරපු වැඬේ පොල් කිරි මතුරලා බීලා ලෙඬේ සනීප කර ගත්තා . එදා ඉඳන් ගුරා ගෙවල් වල පිළිකනු වල හැංගිලා ගෙවල් වල කතා කරන ඒවා අහගෙන ඉන්න පටන් ගත්තා. ඒ මේ වැඬේ කරපු අයව අල්ල ගන්න.

ඉතින් මෝඩ ගෑනු දෙන්නෙක් මේ ගැන කතා වුණා.  අපේ වැඬේ හරි ගිහිල්ලා නෑනේ ගුරා යහතින් ඉන්නේ කියලා ඒක ගෑනු මනුස්සයෙක් කියලා. යකෝ ඔය ගැන කට හොල්ලන්න එපා කියලා අනිත් ගෑනු මනුස්සයා කිව්වලු මේක ඇහුණු  ගුරුන්නාන්සේ අනිත් දෙන්නවත් හොයාගෙන  හතර දෙනාටම අංගම් යවලා. ටික දවසකින් හතර දෙනාම ඉවරයි.

හැබැයි ඉතින් ඔය ගුරුන්නාන්සේ පස්සේ කාලෙක බොහෝම දුක් විඳලයි මැරුණෙ. එත් තමන් කරපු අපරාද ගැන එයාට අවබෝධයක් තිබුණෙ නෑ. මිය යන්න කලිනුත් මගේ බාප්පට කියල තියෙනවා.

18 බානට එකක් අඩුයි එ්කා උඹ යවාපන් කියලා. ඒ කියන්නේ අංගම් වලින්ම 35 දෙනෙක් මරලා තියෙනවා තව එකෙක් මරපන් එතකොට 18 ඒවා දෙකයි කියලා.”

“අංගම් යවන ක්‍රම ගණනාවක් තියෙනවා. ප්‍රසිද්ධම එක තමයි ගම්මිරිස් ඇට මතුරලා කටේ දාලා හපලා සුළඟේ පා කරලා යවන එක. සමහරු මේවා ගැන නොදැන අත්හදා බලන්න ගිහිල්ලා අමාරුවේ වැටෙනවා. මේ ගමේ දෙතුන් දෙනෙක්ම අංගම් වැදිලා ලෙඩ වෙලා මිය ගිහිල්ලා තියෙනවා. සමහරු මටත් අංගම් එවලා තියෙනවා. මම කල්වේලා ඇතුවම ඒවට සූදානම් වෙලා ආරක්‍ෂා කටයුතු කරගෙනත තිබුණ නිසා මම බේරුණා.”

අංගමක් යවලා අදටත් කෙනෙක්ව මරා දමන්න හෝ සදාකාලිකව රෝගියෙක් කරන්න පුළුවන්ද කියලා කවුරු හරි ඔබට අභියෝග කළොත් ඔබ එය කරනවාද? මම විමසුවෙමි
“මීට අවුරුදු දෙක තුනකට කළින් ඒ අභියෝගය කළානම් මම කරලා පෙන්නනවා. මම දැන් සේනාසනයක බණ දහම් වල නියැලෙමින් සහ භාවනා යෝගීව ඉන්න නිසා ඒ දේවල් වලින් මිදිලා ඉන්නේ. මම හදන්නේ සංසාරය කොට කර ගන්නයි. මම  සංසාරය දිග කර ගන්න කැමති නෑ. මා ළඟ තිබූ මන්ත්‍ර ශාස්ත්‍ර පොත්  ගොඩාක් ඉවත් කරලා තියෙන්නේ. මේ දේවල් බොරු කියලා කවුරු හරි හිතනවානම් පැරණි පොත් පත් මූලාශ්‍ර බලන්න කියලා මම ඉල්ලනවා.”

ශාන්තිකර්මයක් කරමින්…

 

“ඒ වගේම ඉස්සර පන්සල් කියලා තිබුණේ බොහෝම සීමිත ගණනක්. කරත්ත වලින් දවස් ගණන් මග ගෙවගෙන තමා පන්සල් යන්නේ. නිකවැටියෙන් කරත්ත බැඳගෙන මහියංගනය, දීඝවාපිය, ඕවාගිරිය, ටැංගොඩ හෝ පොතුබන්ධන කියන පන්සල් වලින් එකකට තමා මාසෙකට සැරයක්වත් යන්නේ.මට හොඳට මතකයි ඒ ගමන් යන්න කලින් නඬේ ගුරා හොඳ ගුරුන්නාන්සේ කෙනෙකුට කියලා නූල් මතුරවලා වතුර මතුරවලා නූල් බැඳලා දෙහි මතුරවලා ඒවා අතට දිලා තමා අපිව ඒ ගමන යවන්නේ අංගමක් දෙහි ගෙඩියට වැදුණාම දෙහි ගෙඩිය පැලිලා තියෙනවා. නැත්නම් අව පැහැ ගැන්වෙනවා.”

“අංගම් කියන්නේ හූනියම් ක්‍රමයක්. ඉටි බන්ධන අංගම හරිම සැරයි. මී ඉටි, බඔර ඉටි, කන මී ඉටි, දෙබර ඉටි සහ දඬුවැල් ඉටි කියන ඉටි වර්ග වලින් රූපයක් හදාලා නම ලියලා ඒකේ උගුරට හෝ පෙකණියට කටුවක් ගැහුවම ආයේ ඉතින් නෝ හෙල්ලුම්. ඒ අදාළ කෙනාට කන්නත් බෑ. උගුරේ අමාරු බඬේ අමාරු. නොයෙක් ලෙඩ මැරෙනකම්ම දුක විඳින්න වෙනවා. ඒ ඉටි රූපය පසාරු කරගෙන යන්න ඇන්නොත් වැඩි දවසක් යන්න කලින් අදාල කෙනා මැරෙනවා. මොන ප්‍රතිකාරය කලත් වැඩක් නෑ. ඔය දෙකෙන් එකකට මූණ දෙන්න වෙනවා. ඒක කරපු ගුරුන්නාන්සේටම  අනුකම්පාවක් හිතිලා අයින් කළොත් හරි. එතකොට ලොඩාට සුවයි.”
වෙනත් අංගමක් වැදුණු අයෙකු සුවපත් කරගන්නට වැදුණු අයෙක් සුව පත් කර ගන්නට සාමාන්‍ය සෙත් ශාන්තියක් හෝ ගිනිහං වළ කැපීමක් සිදු කෙරෙන බව පසු ගිය සතියේ පරගහකැලේ අප්පුහාමි ගුරුන්නාන්සේ සඳහන් කළේය. ඒ අවස්ථා දෙකෙන්ම රෝගියා සුවයක් නොලදහොත් හත් අඩිය කපන බවද හෙතෙම අනාවරණය කළේය. (ඒ පිළිබඳව පසුව කතා කරමු)

අංගම් පිඹීම නම් වූ මාරාන්තික මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව මීට වසර කීපයකට පෙර දකුණු වැව් ගම්පත්තුවේ කැලෑ බද ගම්මානයක් වන තොට්ටම ගම්මානයේ පදිංචිව සිටි පැරණියකු වූ කේ.එම්. සුදු බණ්ඩා මහතා මේ ලියුම් කරුට කරුණු සඳහන් කළේ මෙසේය.
“ඉස්සර කාලේ ගමක පන්සලක හෝ වෙනත් පිංකම් පොළකට යනකොට වැඩිහිටියන් දෙන එකම අවවාදය තමා අංගම් වලින් පරිස්සම් වෙන්න කියන එක. ඒත් අපට ඕවයේ ගානක් නෑ. අපි පන්සල් වලට ගියත් ඔහේ ඇවිද ඇවිද ඉන්නවා. මේ නිසා අම්මලා තාත්තලා ගුරුන්නාන්සේ කෙනෙකුට කියලා අපට දෙහි ගෙඩියක් මතුරලා දෙනවා. අපට කියනවා මේක ඉනේ ගහගන්න කියලා. අපි ඉතින් සරමේ ගැටයක මේ දෙහි ගෙඩිය ගහගන්නවා. එක්තරා දවසක දීඝවාපි යනකොට මතුරලා  දීපූ දෙහි ගෙඩිය ඉනේ ගහ ගන්නකොට තිබුණේ.

කොළ පාටට. දීඝවාපි  (නඛා වෙහෙර)ගිහිල්ලා  ගෙදර ඇවිත් මම සරමේ ගැටේ ලිහලා දෙහි ගෙඩිය බලද්දි ඒක දුඹුරු පාට වෙලා තිබුණා. ඉතින් මට පුදුම හිතුණා . මම ඉක්මනින්ම අම්මට හරි තාත්තට හරි පෙන්නුවා. එයාලා ඔළුවේ අත ගහ ගත්තා. වෙන කාට හරි යවපු අංගමක් මට වැදිලා කියලයි ඒ අය කතා වුණේ. දෙහි ගෙඩියට එය වැදීම නිසා මාව ආරක්‍ෂා වෙලා කියලත් කතා වුණා.”
“ඒ කාලේ අපි දීඝවාපි යන්නේ කරත්ත වල නැගලා. මේ ගමනට දවසක්ම ගත වෙනවා. එ කාලේ දීඝවාපියේ  රූ එළිවෙනකම්ම පින්කම් තියෙනවා. ඒ යනකොට ගැනු පිරිමි හැමෝම දෙහි ගෙඩි මතුරගෙන තමයි යන්නේ. මේවා ගණන් නොගන්නා අය සහ නොදන්නා අය නිකම්ම යනවා. එහෙම ගිහිල්ලා අංගම් වැදිලා හොඳ පාඩම් ඉගෙන ගන්නවා. අංගම් වැදිලා නහයෙන් කටින් ලේ දාගෙන ගෑනු පිරිමි වැටිලා දඟලන හැටි  මම දවස් කීපයක්ම දීඝවාපියේ දී දැකලා තියෙනවා.”

සටහන සහ ඡායාරූප
දිගාමඩුල්ලේ  සමන් දිසානායක